Total Pageviews

Wednesday, November 13, 2013

වියොවක් වුණත් ගැඹුරක් තියෙයි




සිහිනය නුඹෙද?  එය මගෙ නොවෙයි
විනිවිද දිවිය සිත හළු කරයි
කවි කම වුවත් දැන් බර වැඩියි
සමු ගනු කෙළෙස?  එද යා යුතුයි

සිවුරක් ඇවිත් ගත වට එතෙයි
රැළි කෙස් කැරැලි සිඳි, බිම වැටෙයි
අනියතය, අතිරය සැම සිතෙයි
වියොවක් වුණත් ගැඹුරක් තියෙයි

සක්මන් මළුවෙ සුදු වැලි මුදුයි
මිරිවැඩි නොමැති පතුලට සුවයි
වඩනා බවුන් සිත සැහැල්ලුයි
මග ඵල පසක් කර ගත යුතුයි

ඉසි, කෝ ද මන් නැති සිත අගෙයි
නොඇලෙයි යමක, දහමෙහි සරයි
භව කතර තරණය කළ යුතුයි

ගිහි ගෙයින් යන්නට කාලයයි

Thursday, October 31, 2013

අද දරු නැලැවිල්ලක්
















අත වෙරළු රැඳුණු
දර හිස මතෙහි බැඳුණූ
පලා ඉණ වට එතුණූ
නුඹටමයි, නුඹ කුමට හඬනූ

කන්දට ඇවිලෙනා ගිනි
නැන්දට නොපෙනෙනා වැනි
හැන්දට ගො'කිරි පිරැවිණි
නින්දට යන්න ම'දියෙණි

නොරට ගිය නුඹෙ අම්මා
කණට තෝඩුද දැම්මා
පිනට වෙද ඒ අම්මා
නුඹට ලැබුණේ දැන් සිතම්මා

අම්මා සුදුයි සියුමැලි
අප්පා නගන මැසිවිලි
නොඅසා දුවේ සුකුමලි
නිදියන් අසා නැළවිලි


Tuesday, October 8, 2013

අසෙකු පිට මා දමා . . . .



මගෙ දෑත ලිහා දැමුවොත් බිඳක්
කාල වර්ණෙන් පාට ගන්වමිය, බිත්ති හැම
මගෙ සිහින කුරුටු ගා

වසංගත රෝග වැස්සක් වැටී
ලෝකයම මගෙ දෑතෙ
මිරිකිලා ගියා දෙන් . . .

දිග හැරුණු උකුල මත ලිහා දැමු
කාල වාර්ණවු සිහින
කුරුසයේ ඇණ ගසා මරා ඇත
මගේ කිරි කැටි බිළිඳු
ගර්භාෂයේ දීම
අත් අඩංගුවට ගෙන.

මගෙ නිවස දොර අගුළු විවට කළ
අශ්ව ගාලක්ය දැන්

විනාශකාරීන් විසින්
මනාලියෙක් නොමැති අසෙකු පිට
මා දමා
පලවා හරිනු ලැබිණි
අඳුරු වූ වන පෙතට
මා වෙලූ විලංගුවෙ යදම් වැල
කවරෙකුට හසු වේද?

තීන්දුව දෙනු ලබන
කැලඹිලිකාර දිනයට පෙර
මා අවට විසිර ඇති
වැරහැලිද කඩමාලු
එකතු කරගන්න මට ඉඩ දෙන්න
දරුවන්ව කරන්නට නඩත්තු
ඉඩ ලදොත් මිය යන්න පෙරාතුව.
වස බඳුන ඒ සමග
මුව පුරා හළා ගනු පිණිස වෙද?

ඉඩ දෙන්න, විලංගුව ගැලවෙන්න
කවූරුන්ද ග්‍රහණයට ගනු ඇත්තෙ
එසඳ දම්වැල දැඩිව. . . . ?


අස්‍රා අබ්බාස් - පකිස්තානය
පරිවාර්තනය - පුෂ්පා රම්ලනී

Monday, October 7, 2013

සිරගත වීමට පෙර . . .




සම්ප්‍රාප්තියෙන් පසුව ප්‍රවෘත්තිය,
වසන්නෙමි මගේ ගෙයි
දොර කවුළු පියන් පත් සියල්ලම
නිවා දමනෙමි, විදුලි උපකරණ
අසල්වැසියන් අතර බෙදා දෙමි,
ශීතකරණයේ ඇති
අවුල්, මසවුල් සියල්
ගෙයින් ගෙට හොරා කන බළලාට
බොනු පිණිස හළමි, කිරි බෝතලය
වීදුරුව අයිස් වතුරෙන් පිරුණු
හළා ගමි මුවට
බොනු පිණිස එක හුස්මටම
දමා දොරගුළු සියල්
ප්‍රාදුර්භූත විය යුතුය
මහ මගට
මධ්‍යාහනයට කලින්
එසේ නැත්නම් රාත්‍රියෙ
කිනම් හෝ හෝරාවකදි
ආණ්ඩුවෙ වාහනයකින් පැමිණ
රැගෙන ගොස් මා වීසි කරනු ඇත
තවත් රැඳවියන් ඇති
ශරීරාගාරයකට

එවිට තව ප්‍රවෘත්තියක්
විකාශනය කෙරෙනු ඇත
සියලු සන්නිවේදන මධ්‍යය හරහා
'අත් අඩංගුවට ගත් අහවලාගේ නිවසෙ
අහවලාගේ දියණිය ගේ
පරණ ට්‍රන්ක පෙට්ටියේ
කඩමාළු ඇඳුම් අතරෙහි තිබී
සොයා ගන්නට ලැබිණි, බොහෝ කවි.
අත් අකුරු පැහැදිලිව කියව ගත හැක.'

අස්‍රා අබ්බාස් - පාකිස්තානය
පරිවර්තනය - පුෂ්පා රම්ලනී


හළා හළ විෂ . . . . .





රැක සිටින වග දනිමි
වියා දැල නුඹ පසෙක
ඔබ ද මොබ බැලිමි මම
දිසෙන්නට නැත නුඹව
ඇස ගැටෙන මානයක

නුඹෙ සුවඳ විසිරුවා
ඇති වගත් දැනෙයි, මට
වසඟයට සනු පිණිස
මෝහනය නොවෙමි ඉන්
හළා හළ විෂය එහි

මකුළු දෙන නුඹ සමග
මෛථූනයෙන් පසුව
නුඹ නසා දමන්නේ
දැන ගෙනද නුඹෙ පවිටු
ඇවතුම් ද පැවතුම් ද?

Sunday, October 6, 2013

තව තලමි නොතැලෙනා බව සිතා




ලෙලි තැලෙයි, ගොඩ ගැසෙයි
අත රිදෙයි
හන්දිපත් ඉකි බිඳියි
ඇවිලෙනා කොඳු ඇටය
වාරු ගෙන තව තලමි
නොතැලෙනා බව සිතා

දරුවන්ට නොතැලීම
ඉන්න ඉඩකඩ හදා
මිය යන්න, සිතේ සැනසුම ඇතිව
කහට තිබුණාට ගත රැඳි ඇඳුමෙ
හිතේ නැහැ එක කහට බින්දුවක්

මගේ කිරි පැටවුන්ට
දළු දමන සෙනෙහෙ මිස.

ආයෙමත් නුඹ ඇවිත් මසිතට




නා ගසක් දළු සලයි හෙමිහිට
පාඩමක් සිහි කරයි සාහිත
මීදුමක් වී මැකෙන විගසට
ආයෙමත් නුඹ ඇවිත් මසිතට

එකට කියවූ පොත් ද කවි මැද
විකසිතය නුඹෙ සිත ද පන්හිඳ
දුකට පෙරලා නොගෙන සෙනෙහස
සකසගමු ජීවිතය යළි අප

රිදී කෙස් රැඳි බොකුටු කෙහෙරැලි
මිදී න්ළලත කියඹු නල වැදී
අදී අතැඟිලි ලඟට ගෙන යලි
විඳීඑ පෙම මගෙ උණුසුමට ලැදි

නුඹ මගේ නොවෙනා බවත් දැන
මා නුඹේ නොවෙනා බවත් දැන
අපි අපේ නොවෙනා බවත් දැන
පෙම් කෙරුම වරදක් ද පෙර මෙන

අසම්මත යැයි කියනු කවුරුද
සම්මතය නිමැවුවෝ කවුරුද
රංගනය නිම වන තුරුම ලොව
පෙම් කෙරුම පමණක්ය සැනසුම

ඇවිද ගිය මං පෙත් ද කඳු වැටි
රේල් පීලිද රඟ හල් ද වෙති
සුවඳ යටගිය දැනෙයි මට නිති
දැනෙන වද මට මෙන් කියන් සකි

 

Friday, September 27, 2013

සසර නවාතැන් පොළ කන්දේ ගෙදර



 



කොඳුරන්නට ඇත සුවහස් වදන් මට
නුඹ දුරකය ළංවනු බැරි සිතින් පවා
විඩාපත්ය ජීවිතයම තැවුල් නැතත්
සිහිල් පවන් රැළ වී මා වෙළා දුවන්

මුදු තෙපළක් සවනට අම බිඳු සේමා
වෙල මැද අම්බලමෙ බිත්ති ද කළුවරය
කරල්, පෙති බෙහෙත් ගිලිනෙමි අහුරු ගණන්
කොහොඹ කරවිලත් දැන් මට පැණි රසය

ජාති, ජරා, ව්‍යාධි වු සැම දුක දෙවනා
සසර නවාතැන් පොළ කන්දේ ගෙදර
විටෙක දිව ගාන සෙනෙහස් අම බින්දු
දුකම මිස සැපැයි අපි කුමකට සිතමු?

Wednesday, September 25, 2013

'දියණිය දෙවියන්ගේ ආශිර්වාදයක්' (ලු )








ඔබ කියන අයුරු මා
දෙවියන්ගේ ආශිර්වාදයක් නම්
ඇයිද මා ආත්මීයව විඳ වන්නේ?
අනුන්ගේ ද්වේෂයට හැම විටම
මුහුණ දෙමි
එසේවම දඬුවම් ලබන්නෙමි
මා කළ අපරාධය නොදැනම.
කිමද මා කළ වරද
උපත ලබනට මෙලොව?
බැගෑපත් ලෙස කියමි,
මගේ වරදක් නිසා නොවෙයි මා
ඉපැදුණේ දැරියක් ව
නොවී පුත්‍ර රත්නයක්.
දැරියක් ව ඉපදීම, මේ මා විලස
මගේ මහ පවක් යැයි, සිතයි ඔබ.
ඔවුහූ ම වද හිංසාවට පත් කරති
අවමනට, ගැරහුමට ලක් කරති
එහෙත් මට ඉන් මිදෙනු ඇවැසිමයි, ඉක්මණින්.
දෙතොල් මා අගුළු ලා . . .
පැතුම් මා වියලවා . . . .
අනෙක අවසරනැතිය මට
ලියන්නට, කියවන්න.
ආත්මයක් ඇත මෙහිද
හදවතක් ඇත මෙහිද
මේ වෙහෙසකාරී ප්‍රාණියාටද
අවශ්‍යය, ජීවත් වීමට
අවශ්‍යය, වැඩෙන්නට පරිපූර්ණව
එහෙත් (අ )වාසනාව!
ඔවුන් ඒ කිසිවක්ම සිදුවන්න ඉඩ නොදෙයි
අවස්ථාවක් ලද විගස
හළන්නට තැත් කරන බරකි, මා
පැතුම් මා සිත පතුල කැටි කෙරුණ
දැනගන්න
ලේ ගලන ම'හදවත
දැකගන්න
කිසිවෙකුට ඇවැසි නැත

ඔවුන් මා පවරාය යලිත් හිමිකරුවෙකුට
යලි යලිත් මේ එකම කතාවමකියවේවි
වෙනස් වනතුරුම උන් ආකල්ප
හැම ගැහැණු දරුවෙකුගේ සිතින් . . .

අෆ්සල් චෝහන් / පකිස්තානු කිවිඳියකි


( උර්දු බසින් ලියැවුණකි )
සයිකොප් -මුසාෆර්ගර් අනුග්‍රහයෙනි.


Monday, September 23, 2013

සිහිනෙන් ඇසුණා මෙසේ . . .

.


තිසා වැවට වට පුර සඳ
දෝතට ගන්නේ කුමකට
බිඳුවක් වැව් ඉවුරට විත්
මා උර මත හිස තියන්න

සියපත් සුපහස කොපුලේ
දවටා සුමියුරු දෙතොලේ
මුසපත් කර ලොවෙන් මුදා
සිහින අසපුවක හොවන්න

අන්ධකාර සළු අතරේ
ප්‍රේමයෙ දෑසමන් කුසුම්
ගෙත්තම් කර දවටා ගත
මා අසලින් දිගා වෙන්න

Tuesday, September 17, 2013

සරසවි අභිනන්දන





  
                                1977 - 10 - 28     සරසවිය


                             සුවඳ ධූපයෙන චන්දන
                             නොමද පුෂ්ප කර වන්දන
                             ගයමි ගීත අභිනන්දන
                             ශ්‍රී සරසවි දේවී . . . භාග්‍යවන්තිනී

                             පද්මාසන වාසී - මිණි වීණා ධාරී
                             පවරාවර නාරී - සප්ත ස්වර සූරී

                             උපුල නයන මන රංජන
                             කමල උවන මන බන්ධන
                             උ
දුල බරණ ගත රන්දන
                             ශ්‍රී සරසවි දේවී . . . . සෞම්‍යවන්තිනී
                             කමලාසන වාසී - මිණි වීණා
ධාරී
                             පවරාවර නාරී - සප්ත ස්වර සූරී

                            සකල කලා අධිගෘහිත
                            පතල දුලා කිත් ධාරිත
                            නිමල යසෝ ගුණ පූරිත
                           ශ්‍රී සරසවි දේවී - පුණ්‍යවන්තිනී
                           කමලාසන වාසී - මිණි වීණා ධාරී
                           පවරාවර නාරී - සප්ත ස්වර සූරී

නෙත් දෙකක් මට මදී . . .

අද මගෙ පරණ යහළුවෙක් මාව බලන්න ආවා, මා අසනීපයෙන් සිටින නිසා. මහවැස්සේ ගෙට ගොඩ වෙලා, යහළුවා මට තෑග්ගක් දුන්නා. හිතන්න පුළුවන්ද , ඒ මොනවද කියලා? මා විසින් අවුරුදු ගණනකට ඉහතින් පුවත් පත් වලට ලියූ නිර්මාණ ගොඩක්, ෆොටො කොපි කරලා . . . ලැමිනේට් කරලා . . . මට සතුටු හිතුණා, මගේ නිර්මාණ අගය කරන අයගේ ස්නේහවන්ත භාවය කොතරම් වටිනවද කියලා. ඉතින් ඒ කවියක් දෙකක් ඔබටත් කියවන්න මූණු පොතේ දමන්න මට හිතුණා.

1976 - තරුණි

හිරු නිවී සයුරු තෙර අඳුර සළු ලිහනවා
වළා සළුවක එතී සඳ පලුව වඩිනවා
ඔබෙන් තනි වූ මහද සුසුම් කැටි ගැසෙනවා
වියෝගය දරනු බැරි යුග නයන පෙඟෙනවා

යුග ගණන් පාරමී පිරූ මුත් එක සිතින්
ළඟ ඉඳන් කවි ලියූ කුමරු දුරු විය නෙතින්
හස කැරැලි පිපෙනු නැහැ, යලිදු යුග තොල් මතින්
කෙළෙස අත් පුඩි ගසමි තනිව මම එක අතින්

අතුපතර සැඟවෙමින් රැහැයියන් ඉකිබිඳී
තියු ගීත ගයනු බැරි කුරවි තුරු මත නිදී
පෙමක් මිහිදන් කෙරෙයි, උපන් ගෙයි මිය ඇදී
ඒ දුකින් හඬන්නට නෙත් දෙකක් මට මදී

පුෂ්පා රම්ලනී

Wednesday, July 17, 2013

අඳුන් තවරන්න මට බැරුවාද?




සිත ගාව අත හැරිය ජීවිතය
බැත නැතිව පාලු වූ කමතක්ය
කතකලී නැටුමක්ව ඉපනැල්ල
පතන්නේ දඟලන්න පවනැල්ල

මන්දාරමට බයෙන් නුඹෙ ඔරුව
සංසාරයෙන් එතෙර වෙන්නැතුව
ලන්තෑරුමත් තවම නොදල්වා
ඉන්තේරුවෙන් සුසුම් හෙළන්නේ

බුදුන්ටත් රුපුන් සිටියා නොවෙද
සඳුන් ගසකත් පිළිල දළු දමයි
නදුන් උයනක් අපට නැතුවට
අඳුන් තවරන්න මට බැරුවාද?

Tuesday, July 16, 2013

බුදුරදුන් පමණක්ම දැකගන්න!





අන්ධයෙකු සේ ඉන්න
නිරර්ථක වූ දෙයට
දුටු දෙයට ඇලෙයි සිත, බැඳෙයි සිත
අනුසෝත ගාමීව නොබලන්න
බුදුරදුන් පමණක්ම දැකගන්න

බිහිරෙකුව සවන් පත් අගුළු ලා
ඔබ ඉන්න
මියුරු හඬ රැහැන් පටකිය කෙළෙස්
ඔබව භවයට තබා බැඳ තබන . . .
පටිසෝත ගාමීව චෛතසික හසුරන්න

ඔය පුසුඹ සුසුවඳැයි
නොසිතන්න
සසර තව ඇලෙන්නට ගැලෙන්නට
ඔබව පොළඹවා ලන
මාරයා එවූ දූතයන්මැයි
ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙම හැසිරෙන්න!

Monday, July 15, 2013

මහද ඉඩ මදි විණි ද?

අහස ඉඩ මදි විණිද පියඹන්න
සයුර ඉඩ මදි විණිද පිහිනන්න
පොළව ඉඩ මදි විණිද පෙරලෙන්න
මහද ඉඩ මදි විණිද සැතපෙන්න

තරුවලින් ආදරේ ලියුවාට අහස මත
කියවගන්නට බැරුව මකා දැමුවා වත්ද
වෙරළතේ වැලි මතේ ලියූ දේ මකන්නට
රළ තරඟ එවා ඔබ සැනසිණීද?


හදේ ගැඹුරුම තැනත් ගැස්සුණා






















සිහින මට නිදන්නට නොදී 
සිත කිති කවයි දඟ කරයි
නුඹත් ඇවිදින් පසෙක 
ඇස් දෙකින් නළලතින් ඉඟි කරයි
ඇසි පියෙන් අඹ මලක් 
ඉඳු දුන්නකින් නවා මට විදියි
හදේ ගැඹුරුම තැනත් ගැස්සුණා
ඉස්සුණා බොරු නොවෙයි

වැව් ඉවුර දිගේ නොව
 සිත් ඉවුරු මතිනි පිය මැන ගියේ
වැව් දියේ රළ තරඟ 
කියඹු වැල් ලෙසිනි හුරතල් වුණේ
ඒ ඇඟිලි තුඩු ඇවිත් කන්
පෙත්ත මත කිමද නැවතුණේ
නෙතේ කඳුලක් මිදෙන්නත් කලින්
කෙළෙස නුඹ නික්මුණේ

Monday, July 8, 2013

දෙවියෝ රැක දෙන්න තේ දලු නෙලන අත

 













උදේ හවා තේ අපමණ විලස බොත
කහට, කිරි තේ ද කොළ පැහැ තේ ද වෙත
මසාලා තේද සුමිහිරි රසිනි ඇත
කවුරු සලකා ද තේ දලු නෙලන අත

පෙළින් පෙළට තේ ගස් මැද සරන්නී
තුඩින් ඇඟිලි දලු එකිනෙක නෙලන්නී
සයින් පෙළෙන දරු කුස ගිනි නිවන්නී
නිවන් දකින් පෙරුමන් ගැන නොදන්නී

දලු කිරලා බර සටහන් කරන අය
සළු උනලා සුව ඉල්ලති අඳුරු රැය
පලුවක් ගියත් එබසට නොනැමෙනා ඇය
කළු කුමාර රකුසන් හට නොමැත බය

පිනි, මල් තුහින සීතල ඉදිකටු වැස්සේ
මිනි මිනි පොදෙත් ලයිමෙන් එළියට බැස්සේ
ඉනිවැට පැන ගොසින් කූඩලු පොදි අස්සේ
දිනිදුන් නැතත් දලු කැඩුවා ඇගෙ රිස්සේ

තේ දළු පලා පැහ වෙයි ඇය නෙළද්දී
තේ පැන් රතු වෙතේ කෙමියෙන් ගලද්දී
ඇගෙ දහදිය
රුධිරය මුසු කෙරෙද්දී
සිහිපත් වුණිද ඇය තේ රස විඳිද්දී

උදුරා ගෙන වැටුප සැමියා තැබෑරුමේ
පොල් රා  වලින් සැනැහී යස වෙරි පදමේ
සපුරා ගනු පිණිස වදදෙයි මහ ජාමේ
පුපුරා ලය නොයා විද කාගෙද කරුමේ

Monday, June 17, 2013

මෝසමේ සුළං දෝ ?


 



නිරිත දිග මෝසමේ සුළං දෝ
මේ හමා යන්නේ
ඊසාන  මෝසමේ සුළඟ දෝ ?
වයිරස් ද විෂබීජ පතුරමින්
විශ්වයම සිසාරා

සැඟවෙන්න විගසකින්
හිමාලයෙ අතුපතර
එහෙ ඉන්නෙ සෘෂි වරුන් විතරමයි
ලෙඩ දුකට පත් නොවන...

Wednesday, March 20, 2013

අහඹුව දිස් වන මිරිඟුව

සිකිපිළ ගෙල වැසු පිට මැද සුවඳට
මදනල සිඹ සිඹ රඟ දෙන්නේ
එසුවඳ සුළඟේ ඇවිදින් හෙමිහිට
රහසින් මොනවද මුමුණන්නේ

රත'දර ඔමරිය යොමන්න අන් අත
සුත'නඹු නෙතු පිය පැටලෙන්නේ
අතපසු කර යමු අහඹුව දිස් වන
මිරිඟුව අප නෙතු රවටන්නේ

පිදූ මල් පිදුම

නෙලුම්, මානෙල් රතුද දම් පැහැ
මලසුනේ ගොඩ ගැහෙනවා
ගොඩ පිපුණු මල් එක්ක ළංවී
සුවඳ හිනැහී විඳිනවා

කෙනෙක් ඇවිදින් පෝර උරයක
දමා පිය ගැට බහිනවා
යලිත් මල් කඩයටම ගෙනිහින්
වෙන වෙනම ගොඩ ගසනවා

පිදූ මල් යලි පිදුම වැරදිද
"අනේ නැහැ " හිත කියනවා
මල් වෙළෙන්දගෙ ගෙදර එනිසා
දෙවේලෙම බත ඉදෙනවා

Tuesday, January 8, 2013

නෝක්කඩු නොකියමි..



සැන්දෑව තවමත් තරුණයි
කියන්නට තොල් නටන කොටම
පරවුණු හිරු වැටුණා මුහුදට
පළාතම රතෙන් සායම් කොට

තාරුකා පාවාඩ හෙළුවා
වළා සළු තුනියටම අහුරා
වඩින්නට රිදී සඳකට
අමතකව අමාවක බව

කළුවරත් තනිවී අඳුරේම
පාර ඇහුවා නිකමට වාගෙ
මලානික තරු දරුවෙකුගෙන්
ආදරය ඉල්ලා හඬන
කලුවරේ කඳුළු නොදැකම

ගඟ දියේ සැඩ වතුරට
සේදී ගලන සොඳුරු තාරුණ්‍යය
ඉවුරු වැල්ලේ සටහන් කළ කවි පද
ඇරුණු වාන් දොරටු වලින්  ගලා ආ
සැඩ දිය පහරින් සුනු විසුණුව
උදුරා ගෙන ගියා මුහුදට
ලතෙත් කමක් නැතුවම පපු කුහරේ

Friday, January 4, 2013

සුවඳ දැනෙන්නට ළං විය යුතු නොවෙද?

කිරි ඉහිරී ගඟ දිය හැරුණිද කිරට
සඳ පර වී වැටුණිද කඳු පාමුලට
මල ගිලිහී නටුවෙන් වැටුණිද බිමට
නුඹ තනිවී නැත නාඬන් තනිකමට

ගැඹුරු වුණත් සත් සමුදුරු පිහිනාලා
එන්න තරම් හිත සවිමත් බව හිතලා
ඉන්න, සුසුම් ගල්ෆ් දියට විසිකරලා
බොන්න කඳුළු හොඳ නැහැ ඇස් රතු කරලා

ගමේ පන්සලේ බෝ මළුවත් පාලුයි
බෝ පත් සැලෙන්නෙත් නුඹගේ නම මුමුණා
බෝධි පූජ කවි කිව්වේ වැලි මළුවේ
දෑවුරුදු කෙළවරේ නුඹ ගම එන්න කියා

බක් මහ අවුරුද්ද මේ පාරත් තනියෙන්
දෙන්න දෙපොළෙ විරහව සුන්දර කරමු
'ස්කයිප්' වලින් දැක්කට සිනහ මල් ගොමු
සුවඳ දැනෙන්නට ළං විය යුතු නොවෙද?