Total Pageviews

Powered By Blogger

Tuesday, November 8, 2016



හිතට සිතුවිලි එන්නෙ
ඔබ ගැනම විතරමයි
අභිධර්මෙනුත් හිතල
චිත්ත, චෛතසික, රූප, නිර්වාණ
සසර ගැට ලිහන්නට
දෙපණස් වු චෛතසිකයන්ට වැඩියෙන් ඔබයි
සිත පුරා හැම තැනම
ඔක්කොම ජවන් සිත් වගෙ
ක්ෂණයකින් මැකී යයි
හිතන්නත් පෙර බිඳක් අනෙක් සැම
මැකෙන්නේ ඇයි කියා නොවැටහෙයි

මැයි මලින් පලස් අතුරා තිබුණු රළු පාර
ඔබ සමග ඇවිදිද්දි
කොයි තරම් මුදු වීද?
විඩාවක් දැනුනේ නැහැ සැඩ ඉරේ
කාෂ්ටක වුණේ නැහැ ගෙන්දගම් පොළෝ ගැබ
තණ පලසකට උරුම සීත,පිණි පිරි ගතිය
මද සුළඟෙ එති, එතී
අපට දුන් හාදු වැල් 
අදත් උණුසුම් හිතට

ඉදින් ඉන්නා තැනෙක 
ඉඳන් හිත කියවලා
ඇවිත් යන්නට එන්න
ඉර මැකෙන සැඳෑවෙක ....
බලන් ඉන්නම් දෙඇස් රිදෙන කල්....

පුෂ්පා රම්ලනී 
09.11.2016

Monday, September 26, 2016





















රැජිනක් නොවූ රාජිනී.

රාජිනී,
ඔබ සටන් කළේ
මිනිස් කම වෙනුවෙන්
භේදයක් තිබුණෙ නැහැ එහි
දෙමළ, සිංහළ, මුස්ලිම් කියා

නිරායුද වූ ඔබව
අපෙන් වෙන් කරන්නට
පිටුපසින් පැමිණිවුන්
කොකා ගැස්සූ වාර කොපමණද?
ලේ විලක් මැද නිසල විණි
රාජිණී . . . .ඔබ

විසල් වූ තල් රුකක්
බිඳුණු සේ
මහත් වූ පාළුවක්
පාඩුවක්
අපට දැනුණා තමයි
ඒ අඩුව තවම දැනෙනව තමයි
රාජිනී!

යාල්පානම් පුරේ
තල් ගසින් සෙවන ලද භූමියේ
සදා සැතපුණු සොයුරි, රාජිණී
තවම සුවපත් නොවුණු
ලේ ගලන තුවාලද
තියෙන අය තවම තැන තැන හිඳියි
රාජිනී!
විසඳුමක් හොයමු අපි එකතුවී
ඔබත් ඇවිදින් එක්ව
එතුවාල හොඳ කරමු, රාජිනී!

පුෂ්පා රම්ලනී
2016 සැප්තැම්බර්

Friday, February 26, 2016

හිත තලා ගන්නෙපා





පෙම්වතිය මග බලන් ඇති තවම
නිකටෙ රඳවා දෑත ලතැවුලෙන්
එනතුරා අසු පිටින් කුමරාන 
රතු රෝස මල් කැකුල අත දරා

'අදත් මං අතිකාල ෆැක්ටරියෙ
තෑග්ගක් පුංචියට අරං හොඳ
හැන්දෑකරේ එන්න බලන්නම්
ෆුට් බෝඩ් එකේවත් එල්ලිලා

නොආවොත් හිත තලා ගන්නෙපා
අතිකාල දික් කළොත් ප්‍රඩක්ෂන් මැනේජර්
පහුවෙනිදා එනවමයි සත්තකට
ඔබෙ සිනා මල් සුවඳ විඳින්නට'

'වැලන්ටයින් දාට විතරක් නෙවෙයි
අපෙ සෙනේ හැමදාම එක වගේ
ජීවිතේ ජයගන්න සටනෙදී
මොන වැලන්ටයින් වත් අපට නෑ'


පුෂ්පා රම්ලනී


Friday, January 15, 2016

මුත්තම්මා










මුත්තම්මා, දැන් උඹට
වයස වැඩියි
වැඩත් හරි හෙමිහිට
වත්තෙ වැඩට අපි
කෙල්ලන්වයි දැන් ගන්නෙ
ඒකයි, උඹේ වැඩ නැවැත්තුවේ

මහත්තුරු එහෙම කිව්වාට
මගේ අත, පය තවම තරුණයි
කංකානි අහගෙනයි මේ දෙබස

මුත්තම්මා, උඹ කැමතිද
කොළඹ යන්න?
වැඩත් අඩු, පඩිත් වැඩි
රස්සාවකට
හැබැයි ඇහුවේ හෙමිහිට

කංකානිට පන් දාහයි
බ්‍රෝකර් ගාස්තු
මුත්තම්මාට මාසෙට
පාළොස්දාහයි

කන කොට රස ආහාර
දෙවේලෙට, තුන්වේලට
හිත දුවන්නේ ලැයිමට
මුණුබුරන්, මිණිබිරියන්
අදත් රොටීම වෙන්නැති
මයියොක්කා කොළ මැල්ලුම් එක්කලා

උපයාගෙන යමක්
උන්ට දෙන්නට රස, ගුණ
පුළුවන් වේවි අද හෙට

හැම තැනම බුලත් කෙළ
මොන කරදයක්ද මේ වැඩ
නෝනාගෙ බිරිසුම

බුලත් විට කන්නේ අපි
පුරුද්දටමයි නෝනේ
බත් නැතුව නම් උන්නැකි
කහටයි, බුලත් නැතිනම්
ඇඟ පතට නෑ හයියක්

බුලත් කෑමේ වරදට
ආයෙත් මුත්තු වත්තට
කන්දස්සාමි කදිරා!
උරුම නැද්දෝ අපහට
සැපක් සතුටක්  කිසිම කාලෙක?


පුෂ්පා රම්ලනී