Total Pageviews

Powered By Blogger

Thursday, November 10, 2011

සිව්වැන්නී (ඇෆ්ගනිස්තානයේදී ලයූ කවියක්)

ආවෙමි කුල ගෙයකට
සිව්වැන්නිය වී
බිරින්දෑවරු අතරට
පුළුන් කෙහෙ, රැවුළින් යුතු
මුල්ලාවෙකු සමග වියපත්

පළමුවැන්නී ජරපත්ව
රැලි ගැසුණු කොපුළින්, නලලින්
එල්ලා වැතුණු දෙතනින්
දිවියේ සැන්දෑ සමය ගෙවන්නී

දෙවැන්නිය වහලිය සේ
බැල මෙහෙවර කම් කරන්නී
තමන්ගේ පමණක් නොව
අනුන්ගේ දරුවන්ද බලමින්, රකිමින්
සියල් උවටැන් ඉටුකරන්නී නො අඩුව

තෙවැන්නී ඉරිසියාවෙන්
බලන්නී මදෙස යටැසින්
තුනුසපුව යොවුන් මදයෙන්
දීලෙන්නී තව

පියාණන් හට මගෙ
ඩොලර් දහසින් බැඳි පියලි දී
දෑවැද්ද විලසින්
මිළට ගත්තා මොහු මා

මා විකුට ලද මුදලින්
ම'පියා ද සිය ගෙදරට
සිව්වැන්නියක් ගෙනැවිත්
වීඳිනු ඇත පෙම් රස
නැවුම් කැකුළක හිමේ විකසිත

පස්වැන්නියක් මෙ'ගෙයට
කැන්දන් නො එන හින්දා
මම් වෙමිය අග මෙහෙසිය
දුකින් වුව ම'සුසුම්
පෙරල ගෙන සොම්නසකට

Wednesday, October 26, 2011

වැස්සක පෙර නිමිති

සස්සඳ සසඳ මැද හිඳිනා සාවුන්නේ
සස්සඳ වකෙන් වක මෝරා හිනැහෙන්නේ
ඇස් දෙක පියෙන්නට කලියෙන් සිතපන්නේ
තිස්සෙම ගැහැණු සිත් නම් නැහැ ඉවසන්නේ

සත් සඳ ගලේ ගිරවුන් පෙම් කෙළිණු දුටිම්
මත් වූ කෙවිලියක් පෙම් ගී පුරනු දුටිම්
සිත් සන්තොසින් එහෙ මෙහෙ පිය හඹනු දුටිම්
අස්තංගත හිරේ රත් පැහැ සිඹිණු දුටිම්

සත්සඳ කිරණ පුපුරා සඳ මෝරන්නේ
සස් සඳ කිරණ යට වරළස පීරන්නේ
සස්සඳ සකිය, කිම ඇය සිත පාරන්නේ
වැස්සක පෙර නිමිති නුඹ තෝරාගන්නේ

දීපාවලී

.
දීපාවලී

පොට්ටු රතට රතු හිනැහෙයි නළල් තලේ
තට්ටු පාවඩය රඟ දෙයි නිතඹ වටේ
කිට්ටු වෙන්න මට කෝලද තංගච්චි
රට්ටු කියන පද නොඅසන් පොල්කිච්චී

ගෙල වට සයනයිඩ් තාලිය ඉවත දැමූ
නුඹ සුන්දරයි අපි ළඟදිම කූඩු වෙමූ
කලබල සිතත් සන්සුන් වෙයි විගහටම
පිල වට එළමු තල් පැදුරක් ඇලවෙන්න

වල් වැදී හිටිය කාලය ගිනි බිඳිමින්
කල්පනා නොකර යට ගිය දේ නැවත
තෙල් පුරා පහන් තබලා නෙක හැඩට
දල්වමු දුරින් දුරු වී යන්නට අඳුර

කෝලම් ඇඳුණු ගෙමිදුල, දොර ළඟ සොඳුරු
වාලම්පුරි නැතත් ගෙන එනවා ඉසුරු
කාටත් සතුට, සාමය සොම්නස මහරු
පානක් ගානෙ වැඩි වෙන්නට පතමු අපි

එහෙන් මෙහෙන් ගිනි බිඳිනා හඬ නොමැති
ත්‍රස්ත බියෙන් හදවත් ගිනි වැදෙන්නැති
යෙහෙන් ඉන්න දුන්නාට අනේ පින් ඇති
ජයෙන් ජය වෙන්න දීපාවලිය මතු ! ! !

Saturday, September 10, 2011

දැදුරු වූ මනස

කළුවරයි, පුර හඳත්
ඉකි බිඳින අහස ළඟ
සඳේ සාවියත් රට හැර ගිහින්

දහදියෙන් වැලිකතරෙ
පිපි ඩිරාම් විකසිතව
රුපියල්ව බැංකුවෙන් ආ කලට

සුරා පිරු විතය තොල රැඳෙන්නේ
නුරාවෙන් නෙත් රතට හැරෙන්නේ
සරාගික සිත සළෙල මතින්නේ
දුරාචාරයටමයි ඇදෙන්නේ

මවුන්ගේ ගවුම හැඳ වරෙන්නේ
දියණියට පියෙකු අණ කරන්නේ
මවු කෙරූ සියලු දෑ නොමින්නේ
කරන්නට ඇයට අණ ලැබෙන්නේ

කැකුළු මල තැලුණු, ගැබ් දරාගෙන
කෙළෙස මවගේ සෙනෙහෙ විඳින්නද
කෙළි කවට සිනහ වට බිම පරව
හති අරියි දැදුරු වූ මනසකින

නිද්‍රෝපගත ම'සිත

ලිවිය හැකි කෙනෙක් වෙද
එකම එක කවි පෙළක්
නිද්‍රෝපගත ම'සිත
අවදි කොට

උකටලී සිත් අහස
කවි තාරුකා නොපිපි
වස්සාන අඳුරු මේ කුළු ඉරුණ

ප්‍රභාෂ්වර කර යලිදු
හිරු සතක් නොවේ
එක ලා සඳක්
මෝදුවී ගුවන'රා
මන්දස්මිතයක් නගන තුරු
භද්‍ර කල්පයක් ඉවසිය යුතුද?

Thursday, July 21, 2011

ඉන්දු සයුරේ මුතු ඇටය

බත් පත අතට ගත් විට
'ආසනික් භීතිකාව'
පිරවුම හළක් ළඟදී
'බාල තෙල් භීතිකාව'

...සොයා නොගතහොත්
එන්නතක්
අනේ! මහ රජුනි . . . . ,
භීතිකා තුරන් කෙරුමට
ඉන්දු සයුරේ මුතු ඇටය
වැඩි කල් නොගොසින්ම
මකර කටට . . .

Friday, July 8, 2011

අකීකරු භාවනාව

නළලත තබා ගිය
වෙන්වීමේ සනිටුහන
තවමත් උණුසුම්ය . . .
දඟ කරයි
අත දරුවකු ලෙස

මැකී යන්නට පෙර
උණුහුම
එන්නේද යලි
කියා දෙන්නට ප්‍රේමය?

දෑස ඉඳිකඩ අද්දර
අකීකරු භාවනාවක...!

Tuesday, May 17, 2011

අභිරූපී නන්දා ථෙරණිය



නිබඳ ලෙඩ දුකින් වනසට පත් වන

කුණු වී, දුගඳ හමා පිළිකුළ දෙන

මෙ සිරුර දෙස නුව්ණින්ම බලනු මැන

අසුභය, අසුභය බවුන් වඩනෞ මැන



20

"කෙළෙස් රහිත විදසුන් නිති වැඩුමෙන්

සිත පිරි මානය මුලින් සිඳිය යුතු

මානය නැසුමෙන් යථාවබෝධෙන්

තිර ලෙස යපත් දිවියක් හිමි වෙයි"



අප මහ භගවත් ගෞතම මුණිදුන්

නන්දා භික්ඛුණියට ඔවදන් සේ

සසරින් එතෙරෙව නිවන් දකින සේ

දෙසු සදහම් වෙයි, මැනැවින් දත යුතු



2.2 ජෙන්ත නම් රහත් තෙරණිය



21.

සප්ත බොජ්ඣංග බුදු හිමි දෙසු ලෙස

නිවන් පසක් කර ගැන්ම පිණිසමැයි

මම ද එම දහම් පසක් කර ගතිමි

සිතුම් දියුණු කර යහ මග ගත්තෙමි



22.

එදහම විණිවිද බුදු හිමි දුටුවෙමි

මෙය වෙයි මා දරනා අවසන් ගත

සසර ගමන කෙල්වර මම දැක්කෙමි

නොමැටිය යලි ඉපැදෙන භවයක් මට



2.3

23.

සුමංගල මාතා තෙරණිය ගේ ගාථා

මිදුණා, මිදුණා සියලුම කෙළෙසින්

මෝල ගහෙන්, හිමි ගෙන්, තුන් කුදයෙන්

පිසු බත් හැළීද පිළුණු දුඅඳ මැයි

විළිබිය නැති ගහපතිගෙ දුගුණ මෙන්



24.

'චිටි, ච්ටි' හඬිනේ ඇවිලෙන රා, දොස්

දුරින්ම දුරු කෙරුවෙමි මා මනසින්

රුක් සෙවනක හිඬ්හ් ඩ්H‍යාන වඩන විට

නොනිම් සුවෙන් සිත සමාධි ගත් වෙයි



2.4

අඩ්ඪකාසී තෙරණියගේ ගාථා



25.

'කාශී' දනව්වට එන අය බදු සේ

කහවණු ලද්දෙමි සිරුර අලෙවි කොට

එයින් අඩක් වටිනා කම් දී මට

නම් කෙරුවෝ 'අභිසාරිකාව' ලෙස



26.

එනමුදු අනියත රූපය අතිරය

කලකිරුනෙමි, රාගය දුරු කෙරු වෙමි

ත්‍රිවිද්‍යාව විනිවිද දැක ගත්තෙමි

සසර මග දිගේ යලි නොම දිව යමි



2.5

චිත්තා ථෙරණියගේ ගාථා

27.

කෘශය, දුබල වෙමි, රෝගී වූයෙමි

ගත වීරිය, ශක්තිය දුරු වී ඇත

එනමුදු ගිජුකුළු පව්වට නැග්ගෙමි

සැරයටියක එල්ලී වීරිය ගෙන



28.

තබා පාත්‍රය මුණින් නවාලා

දෙපට සිවුරු පැත්තකින් තැබූයෙමි

වාඩිවෙමින් ගල් පව්වේ නිසලව

අවිදු කෙළෙස් ගනඳුඅ දුරු කෙරු වෙමි



2.6 මෙත්තිකා ථෙරණියගේ ගාථා



29.

ගෙවී තුරුණු විය, දුබලව සිටියෙමි

අනන්ත, අපමණ දුකින් විඳෙව්වෙමි

නමුදු සැරයැටිය අතකින් දරමින්

ගිජුකුළු මහ පව් තරණය කෙරුවෙමි



පාත්තරය සහ දෙපට සිවුරු ගෙන

පසෙක තබා සන්සුන්ව අසුන් ගෙන

බවුන් වඩා කෙලෙසුන් සිඳ දැමුවෙමි

බුදු සසුනේ මහ ඵලය ලැබූවෙමි



2.7 මෙත්තා ථෙරණිය

31.

දෙව් ලොව ඉපැදෙන්නට පෙර පැතුවෙමි

සතර පෝයටම අට සිල් රැක්කෙමි



32.

නමුදු දුටිමි සත්‍යය පසු කලෙකදි

හිස මුඩු කර පා, සිවුරු දරන්නෙමි

සිත පිරි කෙළෙසුන් සිඳ, බිඳ දැමු මම

නොපතමි යලි දෙව්ලොවක් කිසිදු විට



2.8 අභය මාතා ථෙරණිය

33.

"පින්වත් මෑණියනේ, සිහි නුවණින්

යටි පතුලෙන් උඩ, හිසකෙස් රොද යට

පවතින කුණු වෙන සිරුර බලනු මැන

අතිරය, ව්‍යසනයට පත්වෙන සුළු"



මා පුත් අභය තෙරුන් දෙසු විලසින්

පිරිසිඳ දුටුවෙමි දිවිය නිවැරදිව

රාගය පෙරටුවු කෙළෙස් දැවූයෙමි

නිවී සැනසුනෙමි, සිසිලස් වූයෙමි



2.9

35.

අභයා ථෙරණිය



‘අභයා පින්වත්, සිතන්න මෙසිරුර-

බිඳෙයි, සිඳෙයි පුහුදුන් අය ඇලුණද

එය දැන හඳුනා පිරිපුන් මනසින්

අත් හැර දැමුමයි, නිවනට එක මග’



දුක්, කම් කටොලින් ගහණය මෙදිවිය

අප්‍රමාදවම දහමෙහි හැසිරෙමි

තණ්හා, ආශා අත් හළ විටදී

දුටිමි, හැඳින්නෙමි නිවන අමා මහ



2.10

සාමා ථෙරණිය

37.

පෙර මා සිත තුළ සමාධියක් නැත

දමනය නොකැළකි විය කිසි මොහොතක

නොසන්සුන්ව දිනයකට කිහිප වර

අරණින් බැහැරව නික්ම ගියෙමි මම

38.

එනමුදු අට වැනි රැය ගෙවෙනා විට

තණ්හා ක්ලේශය මුලින්ම සින්දෙමි

අප්‍රමාදවම හැසිරී දහමෙහි

උතුම් නිවන් සුව පිරිසිඳ දුටුවෙමි

Sunday, May 15, 2011

බෝ මළුව සිල් ගනියි

බණ ඇසෙයි
සිත නිවෙයි
සෙත් පිරිත්
පව් තවයි
...
බෝ මළුව
සිල් ගනියි
බෝ පත්ද
බණ දෙසයි

පුස් බැඳුණු
සිල් රෙද්ද
පෙට්ටගම පතුලෙ සිට
සන්ලයිට් කැටයකට
දුක කියයි

සම්බුද්ධ ජයන්තිය
සමරන්න පිළිවෙතින්
ප්‍රතිපත්ති පිදුමකට
සිත නැවෙයි

Wednesday, May 11, 2011

පාඩගම් පබලු සිනහව

තාරුකා නිවෙයි වැලපෙන
කඳුළු බර වැඩියි
පාරමී සියක් සිත ලඟ
භාවනා කරයි
මාළිගේ සිහින දෙදරූ
ඉරි තැලී වැටෙයි
සාගරේ මදියි උවමට
මා සෙනේ වැඩියි


කන්ද උස නමුදු
පාමුල පිපුණු මල් රුවයි
වින්ද සුවඳ පෙති ගානේ
තවම නොකිළිටියි
චන්ද කින්නරියෙ සඳ ගිර
නුඹට විතරමයි
යන්න ගිය ගමන හැරුණොත්
නුඹට මා පෙනෙයි

පාඩගම් පබලු සිනහව
කවිකමට ලැදියි
සාදු සිත් මඬල
තවමත් පෙමින පබසරයි
හාදුවක් පිපී නළලත
සක්මනක යෙදෙයි
මාධවී කැකුළ සුපිපෙන
වරම, අවසරයි

Thursday, May 5, 2011

පැය ගණන් ගෙවුණේ
තත්පර වගෙයි
ඔබ කියෙව්වා
අතීතය
මා වර්තමානයෙම
උන්නා
ප්‍රෙමයේ මධුවිත
ඔබව මත් කරලා

ඔබේ මනුස්සකමට
ඇස් දෙකටම මගේ
කඳුළු ආවා
අඩ අඳුර
කඳුළු ඔබෙන්
හැංගුවා

Saturday, April 16, 2011

කුරුල්ලෝ පියඹති, මාළුවෝ ඉගිලෙති . .

තල්මසුන් මෝරුන් සමග

වර්ණවත් නෙක මින් රළ

පිහිනයි අහස් කුස

වළාකුළු රළ තරඟ බිඳිමින



ලිහිණියන්, ගිරවුන් සහ

කුරුල්ලන් තටු සලමින්

ඉගිල්ලෙයි මහ සයුරෙහි



මල් පිපී කටු තුඩු අග

රෝස කැකුළියො විල් මත

නෙලුම්, මානෙල් රුක් මත

සැලෙයි පවනට උනුන් සිඹ සිඹ



සිඟිති ඔන්චිල්ලාවල

ආච්චිලා නැලවෙන්නේ

සීයලා වෙර දරමින්

තල්ලු දමතෙයි තරඟෙට



කොලු කුරුට්ටන් අත්වල

මදු විත්ය තොල් නලවන

පසෙකින් සිඟිති දැරියන්

සුදුම හැඳ අට සිල් ගෙන

Friday, April 15, 2011

නන්නත්තාර නවාතැන් පොළ . . . .

වාස භූමිය වූ
අහස් තලයෙන්
ඉල්ලා අස් වෙන වගයි . . .

හැමදාමත්
එහෙට මෙහෙට තල්ලුවෙන
ස්වාධීනත්වයක් නැති
ස්ථාවරයක් නැති
නන්නත්තාර
නවාතැන් පොළ . . . .

හැමදාමත්
අනුන්ට යටත්ව
වහලෙකුව
හිඳීම
දුෂ්කරද මොන තරම්?

ස්ටියරියොටයිප් කුළඟන

ප්‍රේමය නොඉල්ලන්න
මගෙන් බැගෑපත්ව
ඔබ සිතන සේ
රතු රෝස මලක්
අත දරා නො එමි, මම

දෙ අදර පිපි මදහසෙහි
කටුය සිප ගනු බැරි ලෙස
දෙනෙත නිල්ලෙන් නලියන
පතුළ ලවණ දිය
සයුරකි

සුවච, කීකරු, තැන්පත්
පෙම්වතිය නොවනෙමි, මම
වැරැද්හට බැට දෙන
අත, පයින් නොව වදනින
සම්ප්‍රදායික දියණිය
නොවෙමි මම
ස්ටියරියොටයිප් කුළඟන !

කළු බැටළු න්‍යාය

මතකද ඔබට
කළු බැටළුවාගෙ කවිය?
"කළු බැටළුවා බා බා
ලොම් තිබේද දැන්?"
සතෙකු වුවත්
ඔහුගේ බෙදා හැරීමේ පිළිවෙත
සර්ව සාධාරණය නොවන්නෙද?

"එකක් මගේ, ස්වාමියාට
අනෙක මගේ ස්වාමි දුවට
ඉතිරි එක දෙන්නෙ
මම ඔබ තුමාට මයි"


පුමිතිරි බේද නොබැලූ
ලොකු පොඩි බේද නොතැකූ
ආර්ථික විද්‍යාව නොදත්
කළු බැටළු න්‍යාය
සාපේක්ෂද . . . කොතරම්?
ප්‍රායෝගිකද . . . කොතරම්?

ඔවුන් ගැහැණුන්ම විය

ඔවුන් ගැහැණුන්ම විය
(කර්ම කාරකය වඩාත් කාව්‍යමයයි)
සමහරුන් වර්ණවත්ය
සමහරුන් සුන්දරය
තවත් සමහරුන් ශෘංගාරාත්මක
කාව්‍ය නිර්මාණ බඳුය
සමහරුන් සෙක්සිය

එහෙත් හැම මුහුණකම,
සිරුරකම
ගැට ගැහුණු තිර රචන
අසංඛෙය සංඛ්‍යාවක්

මුහුණුවල, ඇඟ පතෙහි
ජීවිතය පුරාවට
ජාති, ආගම් අනුව
දේශ සීමා අනුව
වර්තමානය, අතීතය අනුව
ආලේප වී නව නළු රස
සමග වර්ණද
කළුම කළු, අළුම අළු
නිල්ම නිල් . .රතුම රතු
ඒ වගෙම දේදුනු,
ඊස්ට්මන් වරණාලේපිත

කියවන්න ඔබ
පාට කණ්ණාඩි දමා ගෙන නොව
විචාර බුද්ධියෙන්
ගරහන්නට නොව
ඵලයට විමසුම් දෙන්නටද නොව
හේතු කාරක
මුලිනුපුටා දමන්නට . . . !

Saturday, April 9, 2011

කවි ලියමු

දම් පාට අහස මත කවි ලියමු
කාටවත් නොපෙනෙන්න
සිප ගනිමු
වැසි දියෙන් ඇඟ ඇලුණු
ඇඳුම් වල තෙත සිඳිමු

ගස් වටේ ගී ගයා
රොමැන්තික
ලෝකයක සැරි සරමු
ඇබින්දක් හෝ
දැවෙන ලෝකයෙන්
නිකුත්වී
සැබෑ පෙම් කතාවක්
අපි ගොතමු

සයිබර් දොරකඩ පෙත්තප්පු

උඩින් උඩින් වර පෙත්තප්පු
බිමින් බිමින් වර පෙත්තප්පු
සයිබර් දොරකඩ පෙත්තප්පු
චැට් කරන්න එන පෙත්තප්පු

ලස්සන වනනා පෙත්තප්පු
ආසයි කියනා පෙත්තප්පු
වයස අහනවා පෙත්තප්පු
Love u කියනා පෙත්තප්පු

අංකය ඉල්ලන පෙත්තප්පු
දුන්නැතිකොට රොස් පෙත්තප්පු
ෆිල්ම් එවනවා පෙත්තප්පු
අපි බලන්නෙ නෑ පෙත්තප්පු

ගහෙන් ගහට යන පෙත්තප්පු
තෙමී නහී නුඹ පෙත්තප්පු
ඩිලීට් වෙන්න පෙර පෙත්තප්පු
ඉගිලී පලයන් පෙත්තප්පු

Saturday, March 19, 2011

ථෙරී ගී

වීරා තෙරණිය 1 .7
සැදැහැති බව වඩවා නිබඳව සිත
විරියෙන් දහමෙහි හැසිරිය යුතු වේ
දස මරසෙන් සමගින් පරදා මරු
දරන්න අවසන් සිරුරම පමණක්

මිත්තා තෙරණිය 1 . 8
සසුන් ගත වුණේ සැදැහැ සිතිනි ඔබ
එනයින් කුසල් සිත්ම වඩවා ගෙන
කලණ මිතුරු ඇසුරට යොමු කර සිත
අරහත් බව ලබනට කැප විය යුතු

භද්රා තෙරණිය 1 . 9
ඔබද මහණ වූයේ සැදැහින් මැයි
ඉදින් ඔබත් ධර්මයෙහි භද්රය වූ
ඇලී ගැලී; අරහත් බව ලබනට
බෝධිපාක්ෂික ධර්ම වඩනු මැන

උපසමා තෙරණිය 1 . 10
මරු රජ දහනින් ගැලැවෙනු දුෂ්කර-
වුව සසරෙහි සැඩ පහරින් එතෙරව
කෙළෙසින් හෝ මර සෙන් පරදාලා
අවසන් ගත මෙය සිතන්, උපසමා

සිල් ගත් සිත

පුන් පෝදා සිල් ගත් සිත
බෝ මළුවෙන් මල් අසුනට
මල් අසුනින් බණ මඩුවට
බණ අසමින්
මට නොදැනිම
පියඹා ගොස්
ඔබ අසලට

නොබින්දාට
මගෙ අට සිල්
අනේ, ඔබට
පින් සිදු වෙයි!

Friday, March 18, 2011

Wednesday, March 16, 2011

නූතන ජන කවි

අත්වල පිපුණු කරගැට මල් රිදෙනවද
රත් වුණු පොළව ඔබෙ දෙපතුල් සිඹිනවද
නෙත් බැම මතේ රන් දහදිය නැගෙනවද
පත්තර පිටුවකින් ගත ගිම් නිවෙනවද

පවනැල්ලක්ව ගත සරතැස නිවන්නෙමි
අරුනැල්ලක්ව දවසට සුබ පතන්නෙමී
සෙවනැල්ලක්ව දුක ලඟ නිදි වරන්නෙමී
හසරැල්ලක්ව මුව අද්දර පිපෙන්නෙමී

හිරේ සැඩ කිරණ සිහිලැල් පිණි වේවා
කුසේ ගින්න නිවනට බත සරි ඒවා
හිතේ සවිය පුර පස සඳ මෙන් වේවා
මගේ ඇත් රජුව කඳ දෙවි සුරකීවා

Thursday, March 10, 2011

ථෙරි ගාථා

ථෙරි ගාථා වෙන්
1 . 1

"පාංශුකූලෙට දුන් රෙදි කඩකින්
සිවුරක් සකසා ගෙන හඳිනෙමි, මම
එය පිළිකුල් නැත, සැපතක් මය මට"

"බඳුනක රොස් වුණු මැල්ලුම විලසින්
ප්‍රහාණය වුණා, රාගය මසිතින්"
එරහත් තෙරණිය නසලා කෙළෙසුන්
වදාළාය සිය හැඟුමන් එලෙසින්

1 . 2

මුත්තා තෙරණිය

"පුන්සඳ මිදුණා සේ රාහු මුවින්
මුත්තා ගැලවෙන් මරුගේ රැහැණින්
නසමින් කෙළෙසුන් සිතකින් සන්සුන්"

"පිණ්ඩපාතයෙන් ලැබ ගෙන දානය
වල්ඳනු යෙහෙකිය එසඳ නතේ ණය"
මුත්තා තෙරණිය දෙසුවා මෙ අයුරු
පසක් කළාවූ සදහම් අම'යුරු

Sunday, March 6, 2011

උඹේ පරවෙච්ච මුහුණ

දරට ගිය කණිසමේ
දර ඉපල්ලක් සේම
කේඬෑරි නුඹට
හදි කළ අවලමා
අහු වුණා නම් මට
හතර හන්දි කඩනවා
කඩනවාමයි
ආයෙ දෙකක් නෑ

අන්නාසි ගැට, සතකුප්ප
ඇහුවෙ නැහැ මොකුත්ම
අත්තම්මා කියනවා මට ඇහුණා

උඹේ පරවෙච්ච
මුහුණ ළඟ
ඇහේ හිරවෙච්ච
කඳුළු මිරිකමින මම

අප්පච්චි තඩිබෑවෙත් උඹටමයි
අම්මන්ඩිගෙ දෙස් දෙවොලුත්
උඹටමයි
අර යකා නිදහසේ සෙයිලමේ

ඒත් මට කියාපන්
මද්දුමියෙ
මට නොදී උඹ විතරක්
කාවෙ ඇයි තනියෙම
සීනිත් එක්ක අඹරලා
කනේරු ඇට

Saturday, March 5, 2011

ජීවිතය

ජීවිතේ පුරාවට
ජීවිතය සෙවූ අය
සොයා ගත්තාද එය?

සොයා ගත්තා කියා
සිතන අය පවා තව
දුවන්නේ දිය කරන්නටද එය?

ජීවිතය

ජීවිතේ පුරාවට
ජීවිතය සෙවූ අය
සොයා ගත්තාද එය?

සොයා ගත්තා කියා
සිතන අය පවා තව
දුවන්නේ දිය කරන්නටද එය?

Monday, February 28, 2011

ප්‍රශ්න තුනක් සහ නිගමනයක්

කඳුළු දිය උණට උණු
වැටෙන්නට ඉඩ හැරියෙ
නෙතු පියට බර වැඩිද?

ලවණ රස කොපුලතින්
දෙ අදරට කියා දී
සසල කළෙ ඇයි මහද?

සියල්ලම අතිර ලොව
අපේ පෙම පමණක්ම
කෙළෙස පවතිනු තිරව?

බෝම පෙර පින් ඇතොත්
වාසනා ගුණ වෙතොත්
අපට අපි හමු වේවි ! ! !

සුගායන පිරිතක්ය

සබඳ, මට නුඹ විටෙක
සිනා මල් පඳුරක්ය
ගායනා කළ නොහැකි
සුගායන පිරිතක්ය

කාන්සිය දුරු කරන
සිහිල් පැන් පොකුරක්ය
පාන් පැල සේ එළිය
ගෙනෙන පින් මලුවක්ය

දුරින් සිටියද දෙදෙන
සිතින් සෙනෙහින් නොවෙද
තුටු කලෙක නැති වුවත්
දුකෙහි ළං වෙමු එකට!!

සඳු ඇවිලුණා

හිරෙන් සඳු ඇවිලුණා
මේ කුළුද සසැලුණා
සා පැටව් අසරණව
හිම කුළෙක සැඟ වුණා

ඇසැර ගෙන හිටිය තරු
එලවමින් නැගෙන මෙරු
සා පැටව් හටද සුරු
සෙනෙහසින් ළං වුණා

අසනි වැස්සක් වැටී
එගිනි නිවනා හැටී
බලනු හැබවට වටී
තරු මුවින් කියැවුණා

අම්මෙ නුඹෙ අරගලය

ගල් වලේ ගල් බෝර
නුඹට ස රි ග ම වීය
අත්ල, අතැඟිලි පුරා
සුපිපි කරගැට බෝය

අකුරු කරවා සොඳින්
සරසවිය නිමා කොට
ඇවිත් නුඹෙ දෑත්වල
සඳුන් තෙල් ගල්වමිය

'අල' කියන්නේ අපට
ප්‍රගතිශීලි අයයි
අම්මෙ නුඹෙ අරගලය
දිනා දෙන්නට මිසක
අනෙක් අරගල දිනන
අරමුණක් නැත මහට

Sunday, February 6, 2011

හෑල්ලුවට ගත් ලෙන්ගතු කම

පහුරු ගාන විට
අතීතය
නුඹ ඇවිත් සිනා සෙයි
මගෙ හිතේ
දෝර ගැලු
ලෙන්ගතු කමට

හෑල්ලුවට ගත්තා
හැමතිස්සෙම
අවිහිංසක
සා පැටික්කිව
හදාපු මාළිගා සේරෝම
කුඩු පට්ටම් කළා
නපුරු කුඩම්මෙක් සේම

සුදු යකඩ මුද්දක්
පළඳලා
කිරි සප්පයෙක්
අතට දීලා
යන්ට ගියා වහන් වී
පැදුරටත් නොකියාම

ඒත් සහතිකයි
සාප කරන්ට
ඉඩ දෙන්නෙ නැහැ
මයෙ හිත
ප්‍රේම කළ හිතකින්
සාප කරන එක
පාපයක්
මහ පොළව නූහුලන!
පහුරු ගාන විට
අතීතය
නුඹ ඇවිත් සිනා සෙයි
මගෙ හිතේ
දෝර ගැලු
ලෙන්ගතු කමට

හෑල්ලුවට ගත්තා
හැමතිස්සෙම
අවිහිංසක
සා පැටික්කිව
හදාපු මාළිගා සේරෝම
කුඩු පට්ටම් කළා
නපුරු කුඩම්මෙක් සේම

සුදු යකඩ මුද්දක්
පළඳලා
කිරි සප්පයෙක්
අතට දීලා
යන්ට ගියා වහන් වී
පැදුරටත් නොකියාම

ඒත් සහතිකයි
සාප කරන්ට
ඉඩ දෙන්නෙ නැහැ
මයෙ හිත
ප්‍රේම කළ හිතකින්
සාප කරන එක
පාපයක්
මහ පොළව නූහුලන!


Thursday, February 3, 2011

බයිසිකලේ ට්‍රිං ට්‍රිං සද්දෙට
නුඹෙ දෙපා සීරුවෙන්
පිච්ච මල් කැකුලියේ
හිනා මල් වැස්ස නුඹෙ
මුවා කර දමන්නේ
කවුරු කොහොමද ඉතින්....?

මල් වැස්සේ තෙමෙන
පුංචි සමනල
නොදරුවා මම
නුඹේ සිනහ මල් යායම
අස්වද්දනවා
සත්තයි
ඇස්වහක්, හෝ වහක් නොදී



ඉතින් අපි දවසක
කන්ද උඩරට මාලිගවට ගොස්
බාරයක් වෙමු
අපිව එක වහලක් යට
කූඩු කරන්නට කියල
සිරි දළදා සමිඳුන්ට