Total Pageviews

Powered By Blogger

Friday, September 27, 2013

සසර නවාතැන් පොළ කන්දේ ගෙදර



 



කොඳුරන්නට ඇත සුවහස් වදන් මට
නුඹ දුරකය ළංවනු බැරි සිතින් පවා
විඩාපත්ය ජීවිතයම තැවුල් නැතත්
සිහිල් පවන් රැළ වී මා වෙළා දුවන්

මුදු තෙපළක් සවනට අම බිඳු සේමා
වෙල මැද අම්බලමෙ බිත්ති ද කළුවරය
කරල්, පෙති බෙහෙත් ගිලිනෙමි අහුරු ගණන්
කොහොඹ කරවිලත් දැන් මට පැණි රසය

ජාති, ජරා, ව්‍යාධි වු සැම දුක දෙවනා
සසර නවාතැන් පොළ කන්දේ ගෙදර
විටෙක දිව ගාන සෙනෙහස් අම බින්දු
දුකම මිස සැපැයි අපි කුමකට සිතමු?

Wednesday, September 25, 2013

'දියණිය දෙවියන්ගේ ආශිර්වාදයක්' (ලු )








ඔබ කියන අයුරු මා
දෙවියන්ගේ ආශිර්වාදයක් නම්
ඇයිද මා ආත්මීයව විඳ වන්නේ?
අනුන්ගේ ද්වේෂයට හැම විටම
මුහුණ දෙමි
එසේවම දඬුවම් ලබන්නෙමි
මා කළ අපරාධය නොදැනම.
කිමද මා කළ වරද
උපත ලබනට මෙලොව?
බැගෑපත් ලෙස කියමි,
මගේ වරදක් නිසා නොවෙයි මා
ඉපැදුණේ දැරියක් ව
නොවී පුත්‍ර රත්නයක්.
දැරියක් ව ඉපදීම, මේ මා විලස
මගේ මහ පවක් යැයි, සිතයි ඔබ.
ඔවුහූ ම වද හිංසාවට පත් කරති
අවමනට, ගැරහුමට ලක් කරති
එහෙත් මට ඉන් මිදෙනු ඇවැසිමයි, ඉක්මණින්.
දෙතොල් මා අගුළු ලා . . .
පැතුම් මා වියලවා . . . .
අනෙක අවසරනැතිය මට
ලියන්නට, කියවන්න.
ආත්මයක් ඇත මෙහිද
හදවතක් ඇත මෙහිද
මේ වෙහෙසකාරී ප්‍රාණියාටද
අවශ්‍යය, ජීවත් වීමට
අවශ්‍යය, වැඩෙන්නට පරිපූර්ණව
එහෙත් (අ )වාසනාව!
ඔවුන් ඒ කිසිවක්ම සිදුවන්න ඉඩ නොදෙයි
අවස්ථාවක් ලද විගස
හළන්නට තැත් කරන බරකි, මා
පැතුම් මා සිත පතුල කැටි කෙරුණ
දැනගන්න
ලේ ගලන ම'හදවත
දැකගන්න
කිසිවෙකුට ඇවැසි නැත

ඔවුන් මා පවරාය යලිත් හිමිකරුවෙකුට
යලි යලිත් මේ එකම කතාවමකියවේවි
වෙනස් වනතුරුම උන් ආකල්ප
හැම ගැහැණු දරුවෙකුගේ සිතින් . . .

අෆ්සල් චෝහන් / පකිස්තානු කිවිඳියකි


( උර්දු බසින් ලියැවුණකි )
සයිකොප් -මුසාෆර්ගර් අනුග්‍රහයෙනි.


Monday, September 23, 2013

සිහිනෙන් ඇසුණා මෙසේ . . .

.


තිසා වැවට වට පුර සඳ
දෝතට ගන්නේ කුමකට
බිඳුවක් වැව් ඉවුරට විත්
මා උර මත හිස තියන්න

සියපත් සුපහස කොපුලේ
දවටා සුමියුරු දෙතොලේ
මුසපත් කර ලොවෙන් මුදා
සිහින අසපුවක හොවන්න

අන්ධකාර සළු අතරේ
ප්‍රේමයෙ දෑසමන් කුසුම්
ගෙත්තම් කර දවටා ගත
මා අසලින් දිගා වෙන්න

Tuesday, September 17, 2013

සරසවි අභිනන්දන





  
                                1977 - 10 - 28     සරසවිය


                             සුවඳ ධූපයෙන චන්දන
                             නොමද පුෂ්ප කර වන්දන
                             ගයමි ගීත අභිනන්දන
                             ශ්‍රී සරසවි දේවී . . . භාග්‍යවන්තිනී

                             පද්මාසන වාසී - මිණි වීණා ධාරී
                             පවරාවර නාරී - සප්ත ස්වර සූරී

                             උපුල නයන මන රංජන
                             කමල උවන මන බන්ධන
                             උ
දුල බරණ ගත රන්දන
                             ශ්‍රී සරසවි දේවී . . . . සෞම්‍යවන්තිනී
                             කමලාසන වාසී - මිණි වීණා
ධාරී
                             පවරාවර නාරී - සප්ත ස්වර සූරී

                            සකල කලා අධිගෘහිත
                            පතල දුලා කිත් ධාරිත
                            නිමල යසෝ ගුණ පූරිත
                           ශ්‍රී සරසවි දේවී - පුණ්‍යවන්තිනී
                           කමලාසන වාසී - මිණි වීණා ධාරී
                           පවරාවර නාරී - සප්ත ස්වර සූරී

නෙත් දෙකක් මට මදී . . .

අද මගෙ පරණ යහළුවෙක් මාව බලන්න ආවා, මා අසනීපයෙන් සිටින නිසා. මහවැස්සේ ගෙට ගොඩ වෙලා, යහළුවා මට තෑග්ගක් දුන්නා. හිතන්න පුළුවන්ද , ඒ මොනවද කියලා? මා විසින් අවුරුදු ගණනකට ඉහතින් පුවත් පත් වලට ලියූ නිර්මාණ ගොඩක්, ෆොටො කොපි කරලා . . . ලැමිනේට් කරලා . . . මට සතුටු හිතුණා, මගේ නිර්මාණ අගය කරන අයගේ ස්නේහවන්ත භාවය කොතරම් වටිනවද කියලා. ඉතින් ඒ කවියක් දෙකක් ඔබටත් කියවන්න මූණු පොතේ දමන්න මට හිතුණා.

1976 - තරුණි

හිරු නිවී සයුරු තෙර අඳුර සළු ලිහනවා
වළා සළුවක එතී සඳ පලුව වඩිනවා
ඔබෙන් තනි වූ මහද සුසුම් කැටි ගැසෙනවා
වියෝගය දරනු බැරි යුග නයන පෙඟෙනවා

යුග ගණන් පාරමී පිරූ මුත් එක සිතින්
ළඟ ඉඳන් කවි ලියූ කුමරු දුරු විය නෙතින්
හස කැරැලි පිපෙනු නැහැ, යලිදු යුග තොල් මතින්
කෙළෙස අත් පුඩි ගසමි තනිව මම එක අතින්

අතුපතර සැඟවෙමින් රැහැයියන් ඉකිබිඳී
තියු ගීත ගයනු බැරි කුරවි තුරු මත නිදී
පෙමක් මිහිදන් කෙරෙයි, උපන් ගෙයි මිය ඇදී
ඒ දුකින් හඬන්නට නෙත් දෙකක් මට මදී

පුෂ්පා රම්ලනී