Total Pageviews

Powered By Blogger

Tuesday, October 20, 2009

සිහින මල්පෙති

සිහින මල්පෙති රැඳුන ඔබ අත
බිම වැටෙන්නට ඉඩ නොදී
ගනිමි දෝතට හෙමි හෙමින් මම
සෙනෙහෙ සුවිපුල් විල්තෙරේ


සිතක ලතැවුල ගොතන කවි මුතු,
පබලු රුව ගුණ මට දැනෙයි
නෙතක වැතිරුණ පිනි පියල්ලක
අරුත කියවනු හැකිය දැන්


ගිමන් කල හෝ වසත් කල හෝ
පූදිතොත් පෙම් නිල් උපුල්
හුදෙකලාවෙන් මිදෙනු ඇත
සිත කුරුලු ගීයක උනුසුමෙන්

Monday, October 19, 2009

අහේතුක සිනහ


විරහව සොඳුරුද කෙතරම්
නුඹ ගැනම කවි මිනි මුතු වන
වැසූ දෑසේ නුඹම නලියන
අහේතුකවම සිනහ නැලැවෙන

තත්පරය කල්පය වන
මුලු ලොවම අමතක වන
සිහින ලොවකම තනිවන
තවත් දිනකට පැතුම් පුරවන...

එක රැයක් දහසක් වන
සඳටම පිනි කඳුලු දෙන
තරු කැට නිවා නොදමන
නො එන තෙක් නුඹ, තනිකමම දෙන

සමාජ අවමානය


පැල් වත්තේ උක් ගස් මණ්ඩියක
එල්ලා තිබිණි,
නව මසක් මෝරා
බිහි කළ අසම්මත ප්රේමය


ප්රාණය නිරුද්ධව ගොසිනි
පියා පළා ගොසිනි


මවුන්ගේ කුස තුළ
ප්රේමය පාපයක් කරන්නේ
රාගයට පරිවර්තනය වූ
ප්රේමයම නොවේද?


අවජාතක දරුවෙකුගේ
සමාජ අවමානය
සමාජ අවතක්සේරුව සමග
ලොවට බරක් නොකර
උස් මහත් කළ යුත්තේ
ගැබ දරන, කිරි පොවන
ඇය පමණද?


මිරිකා හරීනට පෙර
උතුරා යන රාගය
ගර්භයට
අකර්මනය වෙයව්...
කාමාතුරයිනි!

අපට අවනත නැත

අසංතෘප්ත මිහික
අහසට පළි ගසයි
ඉරි තැලුණු මුව තෙමෙන්නට
වැහි පොදක්
හෙලන්නැයි


මේ කුළු පලා ගොස්
කොහෙදෝ නොදන්නා සක්වලක.... 
ගහ වැල පලා පත් සලයි බිම
සෙනෙහස සිඳී  


අපට අවනත නැත
කිසිත් අප අවට ඇති

Wednesday, October 14, 2009

නුදුටු මොක් පුර

දෙවඟනන් ලබන්නට
නුදුටු මොක් පුර
තවමත් පුදයි ජීවිත
බඩ බැඳ ගෙන
බෝම්බ


නුදුටු දෙවඟනන් හෝ
දෙවීයන් වෙනුවෙන් 
මරා දමන්නේ ඇයි
ඇස ගැසෙන සොයුරන් 
එක බඩ වැළ
කඩාගෙන නාවත්?

Tuesday, October 13, 2009

හේමන්තය

හේමන්තය දොරකඩට ඇවිදින්
සීතල ඊතල විදියි
කාත් කවුරුවත් නැති කෙනෙක්
උණුසුම් වන්නට
ගොරෝසු කම්බිලියක
දෑත් අතරට මැදිවී ..........
පිපිරුණු දෙතොලින්
වියෝ ගීයකට
මුල පුරයි 

බිඳෙන බඩු

අඩුක් කළෙමි හදවත
කිසිවෙකුටත් නොපෙනෙනන්නට
රහසේ
ක්ෂිතිජයේ ඈත කෙළවරක

එහෙත් කවුදෝ
මටත් නොදැනෙන්නට
අරගෙන ගිහින් ........

කොතෙක් කල්
රැක බලා ගනීවිද
නොදනිමි
අතාරින්නේ නැතුව

පොළවට

'බිඳෙන බඩු
ප්රවේසමෙන්' 

ලේබලය අලවන්නට
අමතක විණි

Saturday, October 3, 2009

මම මමම වීම

මම මමම වීම ගැන
සතුටු වෙමි
අනෙකෙකුව නොවී අද


බෙදාගන්නට හැකිය
තවෙකෙකුගෙ දුක් කඳක්
අවසරය නොලබාම
මගේ හිමිකම පැවරු කෙනෙකුගෙන්


රාජකාරි වෙලාවෙන් බිඳක් සොරාගෙන
අමුණන්න හැකිය කවියක් දෙකක්
කතා පොජ්ජකුත් පෙලගසෙනු ඇත
හැබැයි මැනවින් කාල කලමනාකරණයෙන්


ලොව දසත සරන කල
නොවී අවතැන් ගුවන් තොටුපලක
සොයා යත හැක ගමන් අන්තයට


රිදුම් දුන්නද දෙපා ඇවිදලා දිවි ගමන
සිනාසෙන්නට හැකිය
මුණ ගැහෙන අයට මේ මග දිගම
දුක් සිඳින වදනකුත් කියාගෙන
මසිත් පිරි දුක් කඳුළු වසාගෙන


වැටෙන්නට යන කෙනෙකු
හට සුරත දී මගේ
නැගිටුවන්නටද ශක්තිය තිබෙයි
මා සතුව


එනිසාම සතුටු වෙමි
මෙමම මා වීම ගැන
යලි යලිත්, යලි යලිත්, යලි යලිත්

Friday, October 2, 2009

වෙනස

නුඹ පයින් පාගා
බිම දැමූ සිහින
හෙමි හෙමින් දළු ලන හැටි
පස් තට්ටු පුපුරගෙන

වළා විනිවිද පෙරෙන
හිනා හිරු කිරණට .....
නෝක්කඩුවක් නෙවෙයි
සත්තකයි

පුපුරලා ගැලූ
ලේ බින්දු තවමත්
නොසේදුණු පැල්ලම්ව
අපාටව..
විරිත්තයි

සිනහවකත්
විරිත්තීමකත් වෙනස
හඳුනා ගත්තෙමි මම
නුඹට පින් සිදුවන්නට