Total Pageviews

Powered By Blogger

Friday, June 20, 2014

සියලු සත්වයො නිදුක් වෙත්වාය!





දර්ශනය අනුව බොදු, මට මම ද නැති ලොවක
මගේ දෙස, මගේ බස, මගේ රැස කියා ගෙන
කුළල් කා ගනු කුමට නොවැටහෙයි, මේ බෙදුම
ද්වේෂ සහගතව ඔබ මෙත් වඩන්නේ කෙළෙස?

ලෙච්චිමී, සන්දනා, මුරුගේසු ලාගෙ සිත්
යන්තමින් සුව වෙද්දි ලප කැළල් මැකී ගොස්
කුමක් සන්තකේ කොට ගන්නදෝ කඩු, කිණිසි
අත දරා, ගහ මරා ගන්නෙ කුමකටද කියන්

ෆරීනා, ෆාතිමා, ඉක්බාල්, මොහිදීන්
ෆර්දාව පෙරෙව්වත්, හිස් වැසුම් පැළැන්දත්
ගැහැණුන්ය, මිනිසුන්ය අප වගෙම
සියලු සත්වයො නිදුක් වෙත්වාය!
කියතැකිද ඔවුන් බැහැරට දමා?

රම්ලාන් උපවාසෙ කෙළවරදි
අපි එකට පොඩි කාලෙ රස කැවිලි කාපු හැටි
දීපාවලී වලදි එකින් එක
පහන් දැල්වුවා අපි කිසි භේදයක් නැතුව
එකම පන්තියෙ අකුරු කෙරු අපිව
වෙන් කළා, දේශපාලන ලොක්කො
දැක්කුවා, වෙන වෙනම සිප් සතර උගන්නට

හොඳින් තේරුම් ගන්න දැනුත් නැහැ පමාවක්
අවිත් ආයුධ සියල් බිම දමා දයාවෙන්
සිලුත් බිඳ ගන්නැතුව එ'මානව ප්‍රෙමයෙන්
අතින් අත බැඳන් යමු පන්සලට
අතින් අත බැඳන් යමු පල්ලියට

අතින් අත බැඳන් යමු මස්ජිදය දකින්නට....

Friday, June 13, 2014

කමටහන් සොයන සිත





කමටහන් සොයන සිත විපිළිසර
ජවන් සිත් උප්පාද, ඨිති, භ
න්
මනස හිස් කරන්නට දැරු වෙහෙස
සම්මුතිය, පරමාර්ථ සටන් වැද

නිස්සරණ ජිවිතය කෙළවරෙක
අනිත්‍යය ගැහෙයි අවිනිශ්චිතව
ඉඟිමැරුව නෙත් අතීතයෙ ම'දෙස
කාච දැමුවද දෘෂ්ටියක් නැතිව

දෙතිස් රියනැති පිළිම පාමුලෙහි
පෙති හැළුණු පුෂ්ප සුවඳ ද වියැකි
අතර වැතිරෙන සිත ද මුදා ලමි
හැඟුම්, සිතිවිලි සියල් බැහැර කොට

සම්ප්‍රයෝගය සතුටු උළෙලක්ය
විප්‍රයෝගය බරැති සුසුමක්ය
සුළන් රැල් සුසුම් ගෙන පලා යයි
කඳුළු දිය කොපුල දිග ගලා යයි