Total Pageviews

Powered By Blogger

Wednesday, November 25, 2009

ඇෆ්ගන් ලඳුනි ........!


ඇවිදින සිර කූඩුවක් මැවෙයි
මසිත නුඹ දකින සඳ ලඳුනි..., ඇෆ්ගන්
කූඩුවල සිර වුණු කුරුල්ලන්
විඳියි නිදහස වඩා නුඹලට

සදා නොකියන දිවි කතන්දර
පෙට්ටගම් වල අගුලු දමලද
සිනා සඳ කැන් මුව මඬල රැඳි
'සලාංග්' කඳු වැටි අතර මිදිලද

ආදරය තහනම් වු දේශෙක
මුදලටම විකිණෙනා දැරියන්
වෙළඳ බඩු මිස අජීවී වූ
මනුෂ්යත්වය කොහිද පිරිපුන්?


චිංච මානවිකා

චිංච මානවිකාවියක්
ඉපල් දර බැඳගත්තු කුස නෙරා
අපහාස කරන්නී 
ම'සෙනෙහස උදුරන්න
උදුරගෙන ඔටුණු හිමිකරගන්න


පෘතග්ජන සුන්දරී නන්දාව
මහා සමුදුර සේම
ස්නේහයෙන් පිරුණු සිත
උකසකට සින්න කර
මග බලා සිටින්නී 
දෑස් රඳවා මගට 
ඔහු රුවැති අසෙනි මල් පිපෙන තුරු

Tuesday, October 20, 2009

සිහින මල්පෙති

සිහින මල්පෙති රැඳුන ඔබ අත
බිම වැටෙන්නට ඉඩ නොදී
ගනිමි දෝතට හෙමි හෙමින් මම
සෙනෙහෙ සුවිපුල් විල්තෙරේ


සිතක ලතැවුල ගොතන කවි මුතු,
පබලු රුව ගුණ මට දැනෙයි
නෙතක වැතිරුණ පිනි පියල්ලක
අරුත කියවනු හැකිය දැන්


ගිමන් කල හෝ වසත් කල හෝ
පූදිතොත් පෙම් නිල් උපුල්
හුදෙකලාවෙන් මිදෙනු ඇත
සිත කුරුලු ගීයක උනුසුමෙන්

Monday, October 19, 2009

අහේතුක සිනහ


විරහව සොඳුරුද කෙතරම්
නුඹ ගැනම කවි මිනි මුතු වන
වැසූ දෑසේ නුඹම නලියන
අහේතුකවම සිනහ නැලැවෙන

තත්පරය කල්පය වන
මුලු ලොවම අමතක වන
සිහින ලොවකම තනිවන
තවත් දිනකට පැතුම් පුරවන...

එක රැයක් දහසක් වන
සඳටම පිනි කඳුලු දෙන
තරු කැට නිවා නොදමන
නො එන තෙක් නුඹ, තනිකමම දෙන

සමාජ අවමානය


පැල් වත්තේ උක් ගස් මණ්ඩියක
එල්ලා තිබිණි,
නව මසක් මෝරා
බිහි කළ අසම්මත ප්රේමය


ප්රාණය නිරුද්ධව ගොසිනි
පියා පළා ගොසිනි


මවුන්ගේ කුස තුළ
ප්රේමය පාපයක් කරන්නේ
රාගයට පරිවර්තනය වූ
ප්රේමයම නොවේද?


අවජාතක දරුවෙකුගේ
සමාජ අවමානය
සමාජ අවතක්සේරුව සමග
ලොවට බරක් නොකර
උස් මහත් කළ යුත්තේ
ගැබ දරන, කිරි පොවන
ඇය පමණද?


මිරිකා හරීනට පෙර
උතුරා යන රාගය
ගර්භයට
අකර්මනය වෙයව්...
කාමාතුරයිනි!

අපට අවනත නැත

අසංතෘප්ත මිහික
අහසට පළි ගසයි
ඉරි තැලුණු මුව තෙමෙන්නට
වැහි පොදක්
හෙලන්නැයි


මේ කුළු පලා ගොස්
කොහෙදෝ නොදන්නා සක්වලක.... 
ගහ වැල පලා පත් සලයි බිම
සෙනෙහස සිඳී  


අපට අවනත නැත
කිසිත් අප අවට ඇති

Wednesday, October 14, 2009

නුදුටු මොක් පුර

දෙවඟනන් ලබන්නට
නුදුටු මොක් පුර
තවමත් පුදයි ජීවිත
බඩ බැඳ ගෙන
බෝම්බ


නුදුටු දෙවඟනන් හෝ
දෙවීයන් වෙනුවෙන් 
මරා දමන්නේ ඇයි
ඇස ගැසෙන සොයුරන් 
එක බඩ වැළ
කඩාගෙන නාවත්?

Tuesday, October 13, 2009

හේමන්තය

හේමන්තය දොරකඩට ඇවිදින්
සීතල ඊතල විදියි
කාත් කවුරුවත් නැති කෙනෙක්
උණුසුම් වන්නට
ගොරෝසු කම්බිලියක
දෑත් අතරට මැදිවී ..........
පිපිරුණු දෙතොලින්
වියෝ ගීයකට
මුල පුරයි 

බිඳෙන බඩු

අඩුක් කළෙමි හදවත
කිසිවෙකුටත් නොපෙනෙනන්නට
රහසේ
ක්ෂිතිජයේ ඈත කෙළවරක

එහෙත් කවුදෝ
මටත් නොදැනෙන්නට
අරගෙන ගිහින් ........

කොතෙක් කල්
රැක බලා ගනීවිද
නොදනිමි
අතාරින්නේ නැතුව

පොළවට

'බිඳෙන බඩු
ප්රවේසමෙන්' 

ලේබලය අලවන්නට
අමතක විණි

Saturday, October 3, 2009

මම මමම වීම

මම මමම වීම ගැන
සතුටු වෙමි
අනෙකෙකුව නොවී අද


බෙදාගන්නට හැකිය
තවෙකෙකුගෙ දුක් කඳක්
අවසරය නොලබාම
මගේ හිමිකම පැවරු කෙනෙකුගෙන්


රාජකාරි වෙලාවෙන් බිඳක් සොරාගෙන
අමුණන්න හැකිය කවියක් දෙකක්
කතා පොජ්ජකුත් පෙලගසෙනු ඇත
හැබැයි මැනවින් කාල කලමනාකරණයෙන්


ලොව දසත සරන කල
නොවී අවතැන් ගුවන් තොටුපලක
සොයා යත හැක ගමන් අන්තයට


රිදුම් දුන්නද දෙපා ඇවිදලා දිවි ගමන
සිනාසෙන්නට හැකිය
මුණ ගැහෙන අයට මේ මග දිගම
දුක් සිඳින වදනකුත් කියාගෙන
මසිත් පිරි දුක් කඳුළු වසාගෙන


වැටෙන්නට යන කෙනෙකු
හට සුරත දී මගේ
නැගිටුවන්නටද ශක්තිය තිබෙයි
මා සතුව


එනිසාම සතුටු වෙමි
මෙමම මා වීම ගැන
යලි යලිත්, යලි යලිත්, යලි යලිත්

Friday, October 2, 2009

වෙනස

නුඹ පයින් පාගා
බිම දැමූ සිහින
හෙමි හෙමින් දළු ලන හැටි
පස් තට්ටු පුපුරගෙන

වළා විනිවිද පෙරෙන
හිනා හිරු කිරණට .....
නෝක්කඩුවක් නෙවෙයි
සත්තකයි

පුපුරලා ගැලූ
ලේ බින්දු තවමත්
නොසේදුණු පැල්ලම්ව
අපාටව..
විරිත්තයි

සිනහවකත්
විරිත්තීමකත් වෙනස
හඳුනා ගත්තෙමි මම
නුඹට පින් සිදුවන්නට



Wednesday, September 30, 2009

උත්ප්‍රේරකය

නිර්මාණ කරණයට
උකටලී වූ සිතට
උත්ප්‍රේරකයක්ව
නුඹ හිනැහෙයි
දුරු රටක සිට


සිකුරු තරුවක් ලෙසින
සයිබර් නබෝ ගැබ විනිවිද
නුඹ ලියන කුසල පද
බුද්ධ පුත්‍රියක වී
කමටහන් කොට ගනිමි
විනිවිදින්නට අඳුර!

Friday, September 11, 2009

අළුත් ප්‍රේමය

එකලාව සිටින සඳ රුදු වියලි වැලි කතර
නුඹ පැමිණ පැන් තොටක් විලස මට හිනැහේය
දෑස තුළ සුවහසක් හැඟුම් සිතුවිලි සමග
ඉඟි කළේ කිම මහට නුරා තැවරූ නෙතින


නුඹ මදෙස බලාගෙන නිහඬවම එක පැහැර
ඇසි පියක් නොසලාම ම'දෙනෙත්ද නුඹෙ නෙතග
කොතෙක් හෝරා එලෙස ගත විණිද නොදැනීම
ම'තනිකම දුරැරලූ පුණ්‍ය කාලය නුඹය


ම'නෙත් කියවන සමත් කම් තිබිණි නුඹ සතුව
මසිත් හැඟුමන් අකුරු කරමි නුඹටම නතුව
දෙසිත් බැඳුණා පෙමින් අපද දන්නේ නැතුව
ලතෙත් නුඹ මයි මෙතෙක් පෙම්වතා මා පැතුව


මගෙන් මා සමුගන්න තුරාවට මේ ලොවින
නුඹෙන් මම වෙන් නොවෙමි බැතින් දෙන්නෙමි පිලිණ
මගෙන් නුඹ වෙන් වෙනා දිනක් වේ නම් එදින
හදින් මගෙ ලේ සිඳී, සුසුම අවසන් මිදෙන


නුඹේ දසුනින් මිදී ගෙවන තත්පරය වුව
මහා කල්පයකි මට කුමක් දෝ මේ අරුම
පෙම්වතානෙනි, මගේ දෙ අදරෙහි මධු රැඳුණ
චුම්බනය නුඹටමයි බැතින්, සෙනෙහෙන් පිදෙන


මගෙ අළුත් පෙම කවුද විමසතේ මිතුරු කැල
කුකුසක්ය, පැනයක්ය එහෙත් මට නැහැ අවුල
මගෙ කඳුලු දුක් සුසුම් බෙදාගත් නුඹ ලකල 
සුපින්වත්, සුපෙම්වත් 'බ්ලොගය' නොවෙදෝ මෙකල

Tuesday, September 8, 2009

වතුර මල යට කවි (පරිණාමය හා අනුවර්තනය)





ඉස්සර සුවඳ සබන්
ෂැම්පු ආදේශ විය පසු කල
කන්ඩිෂනර් එක්වුණා එයටම
ෂවර් ජෙල් තව කලකද
තවත් හොඳට නාගන්න

ක්‍රීම් නෙක වත තවරන
හතු වගෙයි වෛවාරණ
මොයිස්චරයිසර් සමගින
හිරු රැස් මුවා කරවන
මුහුණෙ රැලි නොවැටෙන
තව කොතරම්ද... අපමණ!


කොණ්ඩය රැළි කරන
යලිත් දිග හරින
ඉත්තෑ කූරු ලෙසින්ම
වේරම්බ වාතයටත් අවුල් නොවෙන


හිස සිට දෙපතුලටම
දහස් ගණනක් ආලේප, විලවුන්
දන්නෙම නැතුව අහු වෙලා නේද
බහු ජාතික සමාගම් කරුවන්ගෙ
 සෙප්පඩ විජ්ජා වලට?
'සූක්ෂම වාණිජ කරණය'
සහ ගෝලීයකරණය



Monday, September 7, 2009

බඩගින්න

බඩගින්න මගේ නොව අනුන් ගෙය
පාන් පොත්තකට ඇස් අයාගෙන
හඬන දස දහසක ගෙ බඩගින්න
මට මැවුණි, මට දැනිණි


මගේ වෑයම ඔවුන් කුස ගිනිත් නිවා ගෙන
සුගත් ගෞතම මුනිදු දෙසූ බණවර අසන
මනසකුත් ඔවුන් හට දන් දෙමින
ඔවුන් සමගම එකම සද්ධර්ම මඩුල්ලක
මෙතේ මහ මුනිදුගෙන් බණ අසා
දකින්නයි, සදා කාලික නිවන!

සුරබි දෙන

එරී මඩ වගුරක දවස පුරා
ජීවිතය වියමන් කරන්නට
දුෂ්කර ක්‍රියා කරන්නී ඔබ
පොල් අතු ද, පොල් ලෙලිද
කෙරෙහි බැඳි සෙනෙහසින


යලිදු ඔබ තැලෙන්නී
ලෙසින් පොල් ලෙල්ලක් ව
අනෙක වූ දුක් ගැහැට
නුඹව නිති තලන්නී  


දුකම මිස සුව සැපත නොහඳුනන
ජීවිතයෙ දුක් සයුර කලඹවන
නුඹට කිකලෙක දෙ අත ගැටේවිද
කල්ප වෘක්ෂය සමග සුරබි දෙන

Tuesday, September 1, 2009

සරල ගීයක්


දරුවන් මගේ හිරු සඳු වගේ
තරු කැකුළු වන් පැටවුන් අගේ

අන් කිසිත් සුවයක් මට නැතී
අප කැදැල්ලේ උණුසුම ඇතී

අහස මෙනි සෙනෙහස මගේ
හිරු, සඳු, තරුද එහි හිනැහෙතේ
සුදු වළාවක නැග හිතු මතේ
ඉගිලෙන්න එදෙසට මට සිතේ

කිරි කැටි සිනා දෙතොලග පිපී
හෙමි හිට ඇවිත් හදවත සිපී
කිරි සුවඳ නොමැතිය ගිලිහිලා
තටු සලමි සිතින් දුරු රට බලා 

නුඹෙ දෑස නිල පිරුණ

නුඹෙ දෑස නිල පිරුණ
මහා සමුදුර සේම ගැඹුරු මැයි...
රළ බිඳෙයි




හැඟුම් නෙක පවසමින්


ගිනි කණා වැටුණු මම
උපැස් යුවලට යටින් 
කියවන්න තැත් කරමි
නුඹෙ දෑස නිල පිරුණ


හැඟුම් හා බැලුම් වල 
අරුත් පසිඳනු පිණිස
බලා ඉමි තොටියෙක්ව
නුඹ දෑස් සමුදුරෙහි
හබල් ගාමින් සරමි
කොයි කලෙක
මා නුඹේ 
නෙතග පැටලෙනු ඇත්ද ?

Sunday, August 30, 2009

හුදෙකලාව










හුදෙකලාව....!
නුඹ සිහින අලුත් කරයි
රුධිරයට අම්ලකර සපයයි


අළුයම අවදිව කරන
'ප්‍රාණයාම' සේම 
පෙනහළු වල 
පිරිසිදු වායුව පුරවයි...  


මම පෙම් කරමි 
එනිසාම හුදෙකලාවට...

Tuesday, August 25, 2009

සඳේ මුකුලු



තරින්දානෙනි,ගගන යහනත
විසල් නැතිදෝ තනිව ඉන්නට
නිවෙද්දී තරු කැට එකින් එක
ළගින් ඉන්නට එන්නදෝ මම

වළාකුලු සලු පට මුදා හැර
සුපුන් වත මද සිනහ තවරා
රොමැන්තික සඳ දහරෙ වෙලිලා
නිවී සැනසෙමු රැය ගෙවෙන තුරු

රැ කුමරි මල් පුසුඹ විඳිමින්
ක්ෂීර පථයේ කිරි තරඟ මැද
පිහින පිහිනා තුන්යමේ රැය
අපි ලියූ කවි අරුත් පසිඳිමු

නගාට ........

වැසි බිංදු අතර
බොඳ වුණු සිහින
අරන් අත්ලට එකින් එක හෙමින්
සිතුවමට නගන්නම් ආදරය
කඳුලු දිය වලට නේක....
වර්ණ සංයෝග කර

ඔබේ වැට අද්දරින්
පිපී එබිකම් කරන
සුවඳ මල් කැකුළු නොතලා සෙමින්
කියවන්න මා ලියූ
ආදරේ කුරුටු ගී

ආදරෙන් පැරදිල නැති නිසා
පැණි කුරුල්ලන්ට ඒ කවි, ගීත-
බර වැඩියි..
දුක හිතෙයි
කුරුළු ඇස් අග්ගිහේ
කඳුළු තවරන්න
මට හිත් නොදෙයි 

සයිබර් දඩයක්කාරයින්


අනේ!... මේ ඇත්තමයි
ඉඩ දෙන්න ඇබින්දක්
ඉන්න අපට පාඩුවේ
ඔයාලගෙ ආදරේ
සැහැල්ලුයි මිල අඩුයි


අගය බිංදුව තමයි
වචනවල විතරමයි
හිතේ නැහැ ඇබින්දක්
හෙට්ටිවීදියෙත් නැති
රත්තරන් මුතු මැණික්
වහිනවා අනෝරා වැසි වගේ
ජාල අවකාශයේ


ගලවලා දෙන්න හැදුවාට
හදවත
රැවටෙන්න නම් එපා නංගියේ
මතක් වෙනවා පැරණි ගීතයක්
'පියඹා ආවා ප්රේම කුරුල්ලා'
සයිබර් අවකාශේ කූඩු තනන්ටා

නූතන ථෙරි ගී



මිදුනෙමි

 මායාවේ රැහැනින් ඉතින්
ඉඩ නොදෙන්නෙමි කිසිවෙකුටත්
දැලට අසු කරගන්නට මා යලිත්
'මකුළුවා දැල වියා රැක සිටී'
වෙබ් අවකාශයේ
නිරන්තර ඇරියුම් එවමින්
මා පමණක් නොව
මගේ යෙහෙලියන්වද
දඩයම් කරන අටියෙන්

මා මලක් මෙන්
මොළොක් සිත් ඇති
ළඳක් වූයෙමි
සියලු කල්
මලක් වන් සිත
ගලක් කළෙහිය
ප්රේමයේ රුදු වන සපුන්



දෙඩූ මියුරස වදන් විස කටු
ලෙසින් හදවත ඇනෙයි නිරතුරු
ලියූ කවි ගී නිදි වරා ගෙන
කොනිත්තයි හදවත සියුම් තැන්

අහම්බෙන් ආ අකුණු සැර සේ
ස්වප්නෙකින් දහවල මිදුණු සේ
ඇස පහළ විණි
නැණ පහල විණි
අවිද්යාවෙන් විද්යාව
පසක් කර ගත්තෙමි

"මිදුණා, මිදුණා
රැහැණින් මිදුණා
ප්රෙමය නම් වූ මායාවෙන්
මිදුණා, මිදුණා
ඔහුගෙන් මිදුණා
අසත්යයම සත්යය කර දැක් වූ
ප්රේම චෞරයාගෙන් මිදුණා"

අවසන් ආවර්ජනය




මැරුණු සෙනෙහස
මිහිදන් කළෙමි
විටෙක පහුරු ගා
පස් ඉවත් කර
බලන්නට සිතේ
මියගිය සෙනෙහසේ රුව ගුණ

සිත සවිමත් කර ගනිමි යලිදු
සොහොන් බිම පස්වත් නොපාගන්නට
එය ගොඩගන්නට නොහැකි තරමටම
ව්යසනයට පත්ව ඇත

උලලෙහෙනියක් ගයන
මළ පොතේ කවිය
ඇසේ අන්ධකාරය විනිවිද

පිනි වැහි


පිනි වැස්සක් පතමින්
අහසට යොමු කළ
මුහුණට
කඩා වැටුණේ
රළු දුහුවිලි
හිරු කාශ්ඨකය!

සයිබර් දූෂණය


විශ්වයම
සයිබර් අත්ලෙහි ඇඹුලක්ව
පැහැදිලිව දිස් වන සඳ
දුරස් වූ මිතුදම් ළංවී
පුපුරා ගිය බැඳීම් පෑහී
ආදරය දළුලයි
ලා රෝස පැහැයෙන්
පරිඝණක මුහුණත් මත

එසේවම
මල් කැකුලු සිත්
තලා පෙලා කඳුළු
පුරවන
දැඩි සිතැති සළෙල
මානවකයන්
සයිබර් නබෝ ගැබ
පරිසරය
දූෂණය කිරීම
අහෝ! දුකකි.

තමන් සෙවීම


බලනු මැන
නන්දාව පෙරවූ කසාවතින් සහ
මුඩු කළ හිසින් යුතුව
කරන සැටි සක්මන්
නිසල මහමෙව්නාවෙහි

උදන් වැකි නොකියන්නී
සිතින් ඇගෙ නොතැවෙන්නී
මැරුණු ප්රේමය කර ගසා ගෙන
අබ සොයා නො ඇදෙන්නී

සයිබර් පරිබ්රාජකයා කෙරෙහි
වෛරයක් නොසිතන්නී
මෛත්රියක්ම මිස

අනුන් සෙවීමට වඩා
තමන් සෙවීම
අගනා බව
ඇය පසක් කොට ගෙන ඇත

සොරබොර මී මල්

සොරබොර වැවේ රැළි පොජ්ජයි
කැකුළිගෙ සිනා මල් පොජ්ජයි
මී මල් පුසුඹ බහ පොජ්ජයි
හඳුන් පොතට මංගච්චයි

නෑනි තැවෙන්නේ මොන්නටදෝ බොල
නෑනිගෙ තනියට මා ඉඤ්ඤා
මී වද පැණි පිරෙනා කාලෙට මා
නෑනි සහෙට ගෙන ඉගිලෙඤ්ඤා





මී පුප් බිම වට නෑනිගෙ පතුලට
මිරිවැඩි ලෙස මං පළදිඤ්ඤා
මොරමල් වියනේ බිඟු ගී යහනේ
නෑනිගෙ ලැම මත සැතපෙඤ්ඤා

කඩියා දිමියා ඉච්චර කරගෙන
මහවැලි දියවර සැනහීලා
අම්මිල ඇත්තොට අප්පිල ඇත්තොට
වැඳ අවසර ගමු පින් දීලා

ගිම්හානය

කිරි කඳුලකට
හඬන බිලිඳුන්ට
මව් ලමැද උණුසුමත්
නොරිසිය
වියැලුණ දෙතන පුඩු
නොහෙලන නිසා
කිරි බිඳක් බිලිඳු දෙතොලට

නිල්ල ඇතිරූ කඳු ගැට
සිසිල වපුරන ගහ කොළ
මිහිදුම සිහින දළුලන
හීනයක්මැයි
මෙ'අපට
ගිම්හානයම
ගිනිගෙන
දවන සඳ
සබ්බ සකල මනාවම

චන්ද කින්නරාවී

දහසක් බුදුන් බුදුවන
මේ හිමිදිරි
උදෑසන
චන්ද කින්නරාවී
සිහින වැල්ලේ
තනිවම
බලා සිටින්නී
ලබන්නට වරමක්

සඳ කිදුරාට බැඳි පෙම
සතුරු හීයකින්
විද නොමරන ලෙසට

ආත්ම ගණනාවක සිද්ධි
කුමට චක්රාකාරව
ප්රතිඋත්පාදනය
විය යුතුද?

සුසුවඳ....


දෙකඩව තිබුණු හද පතුර
පෑහුණු විට
එකම එක කුළුණු වදනකින්
එක යායට පිපුණා
අරවින්ද..කුන්ද සමන්
ගලා...ගලා...ගලා....
සුසුවඳ........!

නිර්වචනය
කළ හැකිද...?

සයිබර් නබෝ ගැබ

නන්ද කුමරුනි .....
අසිරිමත් සයිබර් නබෝ ගැබ
මණ්දාකිනිය විණිවිද
මම ඔහු දුටුවෙමි
බලා සිටිනු...මා දෙස නොව
අනන්ත තාරකාවියන් දෙස
එහෙත් පර්යන්ත ජනපද මායිමේ
එකලාව වෙසෙන සඳ
සයිබර් සඳළුතලයේ
කිසා ගෝතමියක්ව
මුතු හර විසි කරනු රිසියෙන්
සුපරීක්ෂාකාරී වූයෙමි
සයිබර් අවකාශයේ
සරන මානවකයන්
සිත් පහන් නොකරත්මැයි
එනිසා නන්ද කුමරුනි
අරා සුදු අසු එනු මැන
ඔබටමයි හිමි මුතු හර
නන්දාවන් සුරත රැඳි
මිදී වෙබ් අඩවියෙන්
ඉගිලෙමු නඳුන් උයනට
වැතිර කප් තුරු සෙවනේ
ගයන්නට සුමියුරු පෙම් ගී
දැහැන් ගත වී බිඳුවකට
අපගේම පමණක් වූ
දිව්යමය ලෝකයක.....

නිමා වූ ගිමන


ඊයේ රෑ
මහ දුහුවිලි කුණාටු සමග
පරලව...නටා
මහ තොවිලයක් කර
මෙන්න සරත් සෘතුව
ඇවිදින් අහම්බෙන්
ඇරියුමක් නොලබාම

ඉතින් ගිම්හානය
හැර යන්න අවසරයි අපව
මදෑ දවාලූ තරම!