Total Pageviews

Powered By Blogger

Wednesday, September 30, 2009

උත්ප්‍රේරකය

නිර්මාණ කරණයට
උකටලී වූ සිතට
උත්ප්‍රේරකයක්ව
නුඹ හිනැහෙයි
දුරු රටක සිට


සිකුරු තරුවක් ලෙසින
සයිබර් නබෝ ගැබ විනිවිද
නුඹ ලියන කුසල පද
බුද්ධ පුත්‍රියක වී
කමටහන් කොට ගනිමි
විනිවිදින්නට අඳුර!

Friday, September 11, 2009

අළුත් ප්‍රේමය

එකලාව සිටින සඳ රුදු වියලි වැලි කතර
නුඹ පැමිණ පැන් තොටක් විලස මට හිනැහේය
දෑස තුළ සුවහසක් හැඟුම් සිතුවිලි සමග
ඉඟි කළේ කිම මහට නුරා තැවරූ නෙතින


නුඹ මදෙස බලාගෙන නිහඬවම එක පැහැර
ඇසි පියක් නොසලාම ම'දෙනෙත්ද නුඹෙ නෙතග
කොතෙක් හෝරා එලෙස ගත විණිද නොදැනීම
ම'තනිකම දුරැරලූ පුණ්‍ය කාලය නුඹය


ම'නෙත් කියවන සමත් කම් තිබිණි නුඹ සතුව
මසිත් හැඟුමන් අකුරු කරමි නුඹටම නතුව
දෙසිත් බැඳුණා පෙමින් අපද දන්නේ නැතුව
ලතෙත් නුඹ මයි මෙතෙක් පෙම්වතා මා පැතුව


මගෙන් මා සමුගන්න තුරාවට මේ ලොවින
නුඹෙන් මම වෙන් නොවෙමි බැතින් දෙන්නෙමි පිලිණ
මගෙන් නුඹ වෙන් වෙනා දිනක් වේ නම් එදින
හදින් මගෙ ලේ සිඳී, සුසුම අවසන් මිදෙන


නුඹේ දසුනින් මිදී ගෙවන තත්පරය වුව
මහා කල්පයකි මට කුමක් දෝ මේ අරුම
පෙම්වතානෙනි, මගේ දෙ අදරෙහි මධු රැඳුණ
චුම්බනය නුඹටමයි බැතින්, සෙනෙහෙන් පිදෙන


මගෙ අළුත් පෙම කවුද විමසතේ මිතුරු කැල
කුකුසක්ය, පැනයක්ය එහෙත් මට නැහැ අවුල
මගෙ කඳුලු දුක් සුසුම් බෙදාගත් නුඹ ලකල 
සුපින්වත්, සුපෙම්වත් 'බ්ලොගය' නොවෙදෝ මෙකල

Tuesday, September 8, 2009

වතුර මල යට කවි (පරිණාමය හා අනුවර්තනය)





ඉස්සර සුවඳ සබන්
ෂැම්පු ආදේශ විය පසු කල
කන්ඩිෂනර් එක්වුණා එයටම
ෂවර් ජෙල් තව කලකද
තවත් හොඳට නාගන්න

ක්‍රීම් නෙක වත තවරන
හතු වගෙයි වෛවාරණ
මොයිස්චරයිසර් සමගින
හිරු රැස් මුවා කරවන
මුහුණෙ රැලි නොවැටෙන
තව කොතරම්ද... අපමණ!


කොණ්ඩය රැළි කරන
යලිත් දිග හරින
ඉත්තෑ කූරු ලෙසින්ම
වේරම්බ වාතයටත් අවුල් නොවෙන


හිස සිට දෙපතුලටම
දහස් ගණනක් ආලේප, විලවුන්
දන්නෙම නැතුව අහු වෙලා නේද
බහු ජාතික සමාගම් කරුවන්ගෙ
 සෙප්පඩ විජ්ජා වලට?
'සූක්ෂම වාණිජ කරණය'
සහ ගෝලීයකරණය



Monday, September 7, 2009

බඩගින්න

බඩගින්න මගේ නොව අනුන් ගෙය
පාන් පොත්තකට ඇස් අයාගෙන
හඬන දස දහසක ගෙ බඩගින්න
මට මැවුණි, මට දැනිණි


මගේ වෑයම ඔවුන් කුස ගිනිත් නිවා ගෙන
සුගත් ගෞතම මුනිදු දෙසූ බණවර අසන
මනසකුත් ඔවුන් හට දන් දෙමින
ඔවුන් සමගම එකම සද්ධර්ම මඩුල්ලක
මෙතේ මහ මුනිදුගෙන් බණ අසා
දකින්නයි, සදා කාලික නිවන!

සුරබි දෙන

එරී මඩ වගුරක දවස පුරා
ජීවිතය වියමන් කරන්නට
දුෂ්කර ක්‍රියා කරන්නී ඔබ
පොල් අතු ද, පොල් ලෙලිද
කෙරෙහි බැඳි සෙනෙහසින


යලිදු ඔබ තැලෙන්නී
ලෙසින් පොල් ලෙල්ලක් ව
අනෙක වූ දුක් ගැහැට
නුඹව නිති තලන්නී  


දුකම මිස සුව සැපත නොහඳුනන
ජීවිතයෙ දුක් සයුර කලඹවන
නුඹට කිකලෙක දෙ අත ගැටේවිද
කල්ප වෘක්ෂය සමග සුරබි දෙන

Tuesday, September 1, 2009

සරල ගීයක්


දරුවන් මගේ හිරු සඳු වගේ
තරු කැකුළු වන් පැටවුන් අගේ

අන් කිසිත් සුවයක් මට නැතී
අප කැදැල්ලේ උණුසුම ඇතී

අහස මෙනි සෙනෙහස මගේ
හිරු, සඳු, තරුද එහි හිනැහෙතේ
සුදු වළාවක නැග හිතු මතේ
ඉගිලෙන්න එදෙසට මට සිතේ

කිරි කැටි සිනා දෙතොලග පිපී
හෙමි හිට ඇවිත් හදවත සිපී
කිරි සුවඳ නොමැතිය ගිලිහිලා
තටු සලමි සිතින් දුරු රට බලා 

නුඹෙ දෑස නිල පිරුණ

නුඹෙ දෑස නිල පිරුණ
මහා සමුදුර සේම ගැඹුරු මැයි...
රළ බිඳෙයි




හැඟුම් නෙක පවසමින්


ගිනි කණා වැටුණු මම
උපැස් යුවලට යටින් 
කියවන්න තැත් කරමි
නුඹෙ දෑස නිල පිරුණ


හැඟුම් හා බැලුම් වල 
අරුත් පසිඳනු පිණිස
බලා ඉමි තොටියෙක්ව
නුඹ දෑස් සමුදුරෙහි
හබල් ගාමින් සරමි
කොයි කලෙක
මා නුඹේ 
නෙතග පැටලෙනු ඇත්ද ?