Total Pageviews

Powered By Blogger

Wednesday, March 20, 2013

අහඹුව දිස් වන මිරිඟුව

සිකිපිළ ගෙල වැසු පිට මැද සුවඳට
මදනල සිඹ සිඹ රඟ දෙන්නේ
එසුවඳ සුළඟේ ඇවිදින් හෙමිහිට
රහසින් මොනවද මුමුණන්නේ

රත'දර ඔමරිය යොමන්න අන් අත
සුත'නඹු නෙතු පිය පැටලෙන්නේ
අතපසු කර යමු අහඹුව දිස් වන
මිරිඟුව අප නෙතු රවටන්නේ

පිදූ මල් පිදුම

නෙලුම්, මානෙල් රතුද දම් පැහැ
මලසුනේ ගොඩ ගැහෙනවා
ගොඩ පිපුණු මල් එක්ක ළංවී
සුවඳ හිනැහී විඳිනවා

කෙනෙක් ඇවිදින් පෝර උරයක
දමා පිය ගැට බහිනවා
යලිත් මල් කඩයටම ගෙනිහින්
වෙන වෙනම ගොඩ ගසනවා

පිදූ මල් යලි පිදුම වැරදිද
"අනේ නැහැ " හිත කියනවා
මල් වෙළෙන්දගෙ ගෙදර එනිසා
දෙවේලෙම බත ඉදෙනවා