Sunday, February 7, 2010

රන් පිහාටුව

රත්තරන් හංසයෙක්
පියාඹා ගෙන ඇවිත්
රන් පිහාටුව හළා යන තුරා
බලා සිටියෙමි මමත්


උපන් දිනේට බටර් කේක් ගෙඩියක්වත්
ගෙනැත් දෙන්න හංදියේ බේකරියෙන්
මගේ බඩපිස්සිට


හංසයෙක් තියා
කොරවක්කෙක්වත්
ගෙමිදුල උඩින් පියාඹා ගියේ නැහැ
වැව පාරේම ගේ තිබිලත්

Wednesday, January 20, 2010

ජීවිතය නැවතිලා නොවෙයි!!!!!

ජීවිතය නැවතිලා නොවෙයි, එය නවතලා

දෑත් බැඳ, යදම් ලා දෙකකුලට

මගෙන් කිම උදුරගත්තේ මගේ

නිදහස?



කවි ලියන ගී ලියන

සිත යදම් දැම්මෙ ඇයි?

ගී ගයන, කවි කියන

හඬ ඇයිද ගොළු කළේ?



බිඳ දමා විලංගුද වරපටද

කඩිනමින්

මට පිහිට වන්න බැරිදෝ ඔබට?



එන්න මා මිතුරනේ, මිතුරියනේ
රැගෙන යනු මැන මාව
මේ රුදුරු සිර ගෙයින්

තවත් කල් රැඳුනොතින්
මෙහි මෙලෙස
සිහි විකල් වූ කතක්

ඉතිරි වෙනු ඇත නියති...


නුඹලාට මා අහිමි වනු නියති.....

Wednesday, November 25, 2009

ඇෆ්ගන් ලඳුනි ........!


ඇවිදින සිර කූඩුවක් මැවෙයි
මසිත නුඹ දකින සඳ ලඳුනි..., ඇෆ්ගන්
කූඩුවල සිර වුණු කුරුල්ලන්
විඳියි නිදහස වඩා නුඹලට

සදා නොකියන දිවි කතන්දර
පෙට්ටගම් වල අගුලු දමලද
සිනා සඳ කැන් මුව මඬල රැඳි
'සලාංග්' කඳු වැටි අතර මිදිලද

ආදරය තහනම් වු දේශෙක
මුදලටම විකිණෙනා දැරියන්
වෙළඳ බඩු මිස අජීවී වූ
මනුෂ්යත්වය කොහිද පිරිපුන්?


චිංච මානවිකා

චිංච මානවිකාවියක්
ඉපල් දර බැඳගත්තු කුස නෙරා
අපහාස කරන්නී 
ම'සෙනෙහස උදුරන්න
උදුරගෙන ඔටුණු හිමිකරගන්න


පෘතග්ජන සුන්දරී නන්දාව
මහා සමුදුර සේම
ස්නේහයෙන් පිරුණු සිත
උකසකට සින්න කර
මග බලා සිටින්නී 
දෑස් රඳවා මගට 
ඔහු රුවැති අසෙනි මල් පිපෙන තුරු

Tuesday, October 20, 2009

සිහින මල්පෙති

සිහින මල්පෙති රැඳුන ඔබ අත
බිම වැටෙන්නට ඉඩ නොදී
ගනිමි දෝතට හෙමි හෙමින් මම
සෙනෙහෙ සුවිපුල් විල්තෙරේ


සිතක ලතැවුල ගොතන කවි මුතු,
පබලු රුව ගුණ මට දැනෙයි
නෙතක වැතිරුණ පිනි පියල්ලක
අරුත කියවනු හැකිය දැන්


ගිමන් කල හෝ වසත් කල හෝ
පූදිතොත් පෙම් නිල් උපුල්
හුදෙකලාවෙන් මිදෙනු ඇත
සිත කුරුලු ගීයක උනුසුමෙන්

Monday, October 19, 2009

අහේතුක සිනහ


විරහව සොඳුරුද කෙතරම්
නුඹ ගැනම කවි මිනි මුතු වන
වැසූ දෑසේ නුඹම නලියන
අහේතුකවම සිනහ නැලැවෙන

තත්පරය කල්පය වන
මුලු ලොවම අමතක වන
සිහින ලොවකම තනිවන
තවත් දිනකට පැතුම් පුරවන...

එක රැයක් දහසක් වන
සඳටම පිනි කඳුලු දෙන
තරු කැට නිවා නොදමන
නො එන තෙක් නුඹ, තනිකමම දෙන

සමාජ අවමානය


පැල් වත්තේ උක් ගස් මණ්ඩියක
එල්ලා තිබිණි,
නව මසක් මෝරා
බිහි කළ අසම්මත ප්රේමය


ප්රාණය නිරුද්ධව ගොසිනි
පියා පළා ගොසිනි


මවුන්ගේ කුස තුළ
ප්රේමය පාපයක් කරන්නේ
රාගයට පරිවර්තනය වූ
ප්රේමයම නොවේද?


අවජාතක දරුවෙකුගේ
සමාජ අවමානය
සමාජ අවතක්සේරුව සමග
ලොවට බරක් නොකර
උස් මහත් කළ යුත්තේ
ගැබ දරන, කිරි පොවන
ඇය පමණද?


මිරිකා හරීනට පෙර
උතුරා යන රාගය
ගර්භයට
අකර්මනය වෙයව්...
කාමාතුරයිනි!