Total Pageviews

Wednesday, April 25, 2012

කව් ගීයක්

සඳ හාද වෙන්න මුකුළු කරන සීත කලුවරේ
ඔබ පාද ස්වර ඉක්මන් ඇයි සිහින ගං තෙරේ
අද රෑට වියන සිහින හතම රඳවමින් නෙතේ
මුදු සේද සිනිඳු සළුවක්වී වෙලෙනු මා ගතේ


මට කෝල බැලුම්, ඉඟි බිඟි නැතුවාට කමක් නෑ
කට කාර කමට කියන කතා හිත පෙලන්නෙ නෑ
කර කාර බඳින්නට නැකතක් මට ඕනිම නෑ
මදහාස පිපෙන මුව මඬලට කළු වළා එපා


මගෙ දෙමාපියන් නුඹෙත් මාපියන් සේ සලකා
නුඹ දුවක් වෙයන් ඒ දෙපලට ලේලියක් නොවී
සඳ රැයක් දෙකක් නාවත් අහසට දුකක් නොවෙයි
තරු ඇතොත් ගෙදර සිරියාවයි අහසම පිරී තියෙයි


Wednesday, April 11, 2012

නව වසර වාසනා වේවා!

පතන්නම් හැමෝටම
සෙනෙහසින් ප්‍රේමයෙන්
ලබන්නාවූ අළුත් අවුරුද්ද
සාමයෙන්, සමගියෙන්
ජාති, කුලමල භේද භින්නයකින් තොරව
නිදුක්, නීරෝගීව
ගත කරන්නට සොම්නසින් යුතුව
හේතු වේවා, වාසනා වේවා!

රජුන් ඇමතින් මැතින්
සිත් සානුකම්පිතව
නීති ගරුකව සොඳින
දනන් ගේ දුක් දැනී
දුකට පිළියම් සොයන
නැණ නුවණ වී පහළ
මෙතින් මුදිතා ගුණෙන්
පිරිපුන්ව, පරිනතව
සෙමෙන්, දැහැමින් රජය කරාවා!

අකල් වැසි, සුනාමිද
කුණාටුද සුළි සුළං
ළඟින් වත් නෝඉවා
බෝ ආයු වේවා!
සියල් දුක් සිඳේවා!

මිණි, රුවන් පහළ වී
සත් ජනට සෙත අත්ව
අඵල හා ග්‍රහ දෝෂ
තුරන් වී, සංසිඳී
සියල් සිරි අප රටට ලැබේවා!
සියල් සිත් සතන් තුළ
යහගුණම මෝදු වී
ද්වේෂ, ඉරිසියා සිත් නිවේවා!
සත්වගම මෙත් සිත්ම වඩාවා!

භව භෝග සමපතින්
සිරි ලකම පිරේවා!
විදෙස් බලවේග අණ විණ කරන
සිඳේවා!
යහපතම, සෙතම වේවා රටට!

Saturday, April 7, 2012

සොහොන් කොත අසයි, මෙලෙසින් . . .

සොහොන් කොත අසයි, මෙලෙසින්
රෝස කුසුමකින්
"හිමිදිරියෙ පිනි බිංදු
වැටෙද්දී පෙති මතට
දැනෙන්නේ කෙළෙසින්ද
කෙබඳු අවසානයක්
ඔවුන්හට හිමි වෙයිද?
කියනු මැන
ප්‍රේමයේ කුසුම ඔබ"


"කොයි තරම් අවතාර
භූතයන්
වෙසෙන්නට ඇත්ද මෙහි?
එසේවම මෙයින් නික්මෙන්න ඇති . . .
දන්නේද එවන් වූ
ආත්මයන් කී දහක්
සොහොන් කොත් මුවින් නික්මුණි කියා?"
කීවාය රෝස මල


"සිහිලැල්වු සෙවනකදි
හිමිදිරිය හෙළුවා වු
සුවඳවත් කඳුළු වේ
වැටෙන්නේ තුෂර වී
ඒවාම මල්කෙමියෙ සිර වෙලා
හැදෙයි මල් පැණි මිහිරි,
ආශ්චර්යයකි එය"
රෝස මල කියන්නී . .


"භූත, අවතාර සිය දහක් වුව
නික්මුණත් අහස් ගැබ
වෙද සසල
අසිරිමත් නොවෙද එය
පිණි කඳුළු කතාවට වඩා එය?"
පිළිවදන් දුන්නේය
සොහොන් කොත සන්සුන්ව

Wednesday, February 8, 2012

පුංචි ඉටිපහනක්ව එළිය දෙන්නම් ලොවට

.











කෙළෙස හිරු වම්ද මම?
කෙළෙස සඳු වම්ද මම?
පිපුණු තරු සුවාසූ දහසකින්
එකක් වත් වනු කෙළෙස?


පුංචි ඉටිපහනක්ව
එළිය දෙන්නම් ලොවට
විදුලියක් නැති තැනෙක
අකුරු කියවාගන්න
දරුවෙකුට
නැණ පහන් දල්වමිය


දුගී සන්නාලි දැරියකට
ඉඳිකටුව ඇඟිල්ලේ නොම ඇනී
ඇගේ ගෙත්තම නිමා කරලන්න
ඒ එළිය සමත් වුවහොත්
යෙහෙකි..

Thursday, November 10, 2011

සිව්වැන්නී (ඇෆ්ගනිස්තානයේදී ලයූ කවියක්)

ආවෙමි කුල ගෙයකට
සිව්වැන්නිය වී
බිරින්දෑවරු අතරට
පුළුන් කෙහෙ, රැවුළින් යුතු
මුල්ලාවෙකු සමග වියපත්

පළමුවැන්නී ජරපත්ව
රැලි ගැසුණු කොපුළින්, නලලින්
එල්ලා වැතුණු දෙතනින්
දිවියේ සැන්දෑ සමය ගෙවන්නී

දෙවැන්නිය වහලිය සේ
බැල මෙහෙවර කම් කරන්නී
තමන්ගේ පමණක් නොව
අනුන්ගේ දරුවන්ද බලමින්, රකිමින්
සියල් උවටැන් ඉටුකරන්නී නො අඩුව

තෙවැන්නී ඉරිසියාවෙන්
බලන්නී මදෙස යටැසින්
තුනුසපුව යොවුන් මදයෙන්
දීලෙන්නී තව

පියාණන් හට මගෙ
ඩොලර් දහසින් බැඳි පියලි දී
දෑවැද්ද විලසින්
මිළට ගත්තා මොහු මා

මා විකුට ලද මුදලින්
ම'පියා ද සිය ගෙදරට
සිව්වැන්නියක් ගෙනැවිත්
වීඳිනු ඇත පෙම් රස
නැවුම් කැකුළක හිමේ විකසිත

පස්වැන්නියක් මෙ'ගෙයට
කැන්දන් නො එන හින්දා
මම් වෙමිය අග මෙහෙසිය
දුකින් වුව ම'සුසුම්
පෙරල ගෙන සොම්නසකට

Wednesday, October 26, 2011

වැස්සක පෙර නිමිති

සස්සඳ සසඳ මැද හිඳිනා සාවුන්නේ
සස්සඳ වකෙන් වක මෝරා හිනැහෙන්නේ
ඇස් දෙක පියෙන්නට කලියෙන් සිතපන්නේ
තිස්සෙම ගැහැණු සිත් නම් නැහැ ඉවසන්නේ

සත් සඳ ගලේ ගිරවුන් පෙම් කෙළිණු දුටිම්
මත් වූ කෙවිලියක් පෙම් ගී පුරනු දුටිම්
සිත් සන්තොසින් එහෙ මෙහෙ පිය හඹනු දුටිම්
අස්තංගත හිරේ රත් පැහැ සිඹිණු දුටිම්

සත්සඳ කිරණ පුපුරා සඳ මෝරන්නේ
සස් සඳ කිරණ යට වරළස පීරන්නේ
සස්සඳ සකිය, කිම ඇය සිත පාරන්නේ
වැස්සක පෙර නිමිති නුඹ තෝරාගන්නේ