Total Pageviews

Powered By Blogger

Tuesday, August 3, 2010

පීඩිතයාගේ සුසුම

 

උස්තාද් කලි උල්ලාහ් කලීලි - ඇෆ්ගනිස්තානය        

ඔවුහූ මනුෂ්‍යත්වය
ඝාතනය කර දමා
එය දේශපාලනය යයි නම් කළහ.
පල් වෙච්ච මුද්‍රික ඵල
'වයින්' ලෙස හැඳින් වූහ.
මිනිසුන් තුළ වූ යහපත් වේශය
විනාශ කළහ..
එයයි, නියම දක්ෂතාවය!

මගේ හදවත, හැම විටම
මගේ ශක්තිය හා සහයෝගයම විය.
මේ ලොවේ පැවැත්මට
එයම නිරිඳුන් විය, මට.
මගේ වික්ෂිප්ත භාවයට
හේතු සොයන කල්හී
සාක්ෂියට
කැඳවමි...දෙවියන්.
හදවතට මම කෘතඥ වෙමි.

උසස්ම සතුට
සහෘදයන්ගේ සමාහමයි
මරණයේ කලකණ්ණිකම
ඔවුන්ගෙන් අප වෙන් කරයි
අප, දුහුවිල්ලේ එක් වූ
කාලයේ සිට
ජීවිතයත්, මරණයත්
එකක්ම විය අපට, කිසිම වෙනසක් නැති

අහා! ජීවිතය යනු
හුස්ම සහ වේදනාව මිස
වෙන අන් කවරක්ද?
හදවතක්, වද හිංසනයක්,
කඳුලු පිරුණු ඇසක්....!

දවසින් දවස නොවරදවාම
විඳ දරා ගැනීම, මානසික ආතතිය හෝ
තවත් කෙනෙකුගෙ
යකඩ සපත්තුවකට
චප්ප වෙනවා මිසක

අපේක්ෂා බිඳුණු කෙනෙකුට
සතුට හෝ දුක
දැනෙන්නේ කෙලෙසද?
මරණයෙහි තිත්ත හෝ පැණි රසක් නැත
ස්වාධීනත්වය අරා සිටින ඔටුවා
මඩ ගොහොරුවක එරුණු විට
අපගේ ඉලක්කය
දුරද, ලඟද කියා සිතීම
වැඩකට නැති සිතුවිල්ලකි.

එක ලේ බිඳුවක්
පොළවට වැටුණු කල්හී
ස්වර්ගයේ මුදුවේ
වටිනා මැනිකක් ගිළිහෙයි.

ප්‍රවේශම් වන්න!
කෲර පාලකයිනි,
මානසික පීඩාවෙන් හෙම්බත් වුණු
අනාථයෙකුගේ සුසුමක්
විනාශ කරනු ඇත,
ඔබගේ සර්වබලධාරී ඔටුන්න!



පරිවර්තනය- පුෂ්පා රම්ලනී

No comments:

Post a Comment