
සුන්දරයි කියා සිතු වසන්තය ගිනියම්ව
මන්ද මාරුතය ලෙස එවන්නේ සැඩ සුළඟ
අන්ධ වී සෙනෙහසින් බැඳි සිහින මන්දිරය
කන්ද පාමුල වැටී බිඳී සුණු විසුණු වී
කොවුල් ගායනය අතු අග මියුරු සර නැගූ
අවුල් වී ස්වර සිඳී රාග, තාලද බිඳී
හවුල් ගායනා නැතිව ගයන්නේ ඒකලව
තැවුල් ස්වරය පමණි නැගෙන්නේ සීතලව
පෙති හකුළුවා දුකින් මල් ගොමුද මුකුළිතව
ඉතිර යන කඳුළු ගෙන පිනි විලස තවරගෙන
සිතිජයේ මැකෙන හිරු හට අයැද සිටින්නේ
පැතිර යන අඳුර තව පමා කරවන්නටද?
පුෂ්පා රම්ලනි