Total Pageviews

Powered By Blogger
Showing posts with label පරිවර්තන. Show all posts
Showing posts with label පරිවර්තන. Show all posts

Tuesday, October 8, 2013

අසෙකු පිට මා දමා . . . .



මගෙ දෑත ලිහා දැමුවොත් බිඳක්
කාල වර්ණෙන් පාට ගන්වමිය, බිත්ති හැම
මගෙ සිහින කුරුටු ගා

වසංගත රෝග වැස්සක් වැටී
ලෝකයම මගෙ දෑතෙ
මිරිකිලා ගියා දෙන් . . .

දිග හැරුණු උකුල මත ලිහා දැමු
කාල වාර්ණවු සිහින
කුරුසයේ ඇණ ගසා මරා ඇත
මගේ කිරි කැටි බිළිඳු
ගර්භාෂයේ දීම
අත් අඩංගුවට ගෙන.

මගෙ නිවස දොර අගුළු විවට කළ
අශ්ව ගාලක්ය දැන්

විනාශකාරීන් විසින්
මනාලියෙක් නොමැති අසෙකු පිට
මා දමා
පලවා හරිනු ලැබිණි
අඳුරු වූ වන පෙතට
මා වෙලූ විලංගුවෙ යදම් වැල
කවරෙකුට හසු වේද?

තීන්දුව දෙනු ලබන
කැලඹිලිකාර දිනයට පෙර
මා අවට විසිර ඇති
වැරහැලිද කඩමාලු
එකතු කරගන්න මට ඉඩ දෙන්න
දරුවන්ව කරන්නට නඩත්තු
ඉඩ ලදොත් මිය යන්න පෙරාතුව.
වස බඳුන ඒ සමග
මුව පුරා හළා ගනු පිණිස වෙද?

ඉඩ දෙන්න, විලංගුව ගැලවෙන්න
කවූරුන්ද ග්‍රහණයට ගනු ඇත්තෙ
එසඳ දම්වැල දැඩිව. . . . ?


අස්‍රා අබ්බාස් - පකිස්තානය
පරිවාර්තනය - පුෂ්පා රම්ලනී

Monday, October 7, 2013

සිරගත වීමට පෙර . . .




සම්ප්‍රාප්තියෙන් පසුව ප්‍රවෘත්තිය,
වසන්නෙමි මගේ ගෙයි
දොර කවුළු පියන් පත් සියල්ලම
නිවා දමනෙමි, විදුලි උපකරණ
අසල්වැසියන් අතර බෙදා දෙමි,
ශීතකරණයේ ඇති
අවුල්, මසවුල් සියල්
ගෙයින් ගෙට හොරා කන බළලාට
බොනු පිණිස හළමි, කිරි බෝතලය
වීදුරුව අයිස් වතුරෙන් පිරුණු
හළා ගමි මුවට
බොනු පිණිස එක හුස්මටම
දමා දොරගුළු සියල්
ප්‍රාදුර්භූත විය යුතුය
මහ මගට
මධ්‍යාහනයට කලින්
එසේ නැත්නම් රාත්‍රියෙ
කිනම් හෝ හෝරාවකදි
ආණ්ඩුවෙ වාහනයකින් පැමිණ
රැගෙන ගොස් මා වීසි කරනු ඇත
තවත් රැඳවියන් ඇති
ශරීරාගාරයකට

එවිට තව ප්‍රවෘත්තියක්
විකාශනය කෙරෙනු ඇත
සියලු සන්නිවේදන මධ්‍යය හරහා
'අත් අඩංගුවට ගත් අහවලාගේ නිවසෙ
අහවලාගේ දියණිය ගේ
පරණ ට්‍රන්ක පෙට්ටියේ
කඩමාළු ඇඳුම් අතරෙහි තිබී
සොයා ගන්නට ලැබිණි, බොහෝ කවි.
අත් අකුරු පැහැදිලිව කියව ගත හැක.'

අස්‍රා අබ්බාස් - පාකිස්තානය
පරිවර්තනය - පුෂ්පා රම්ලනී


Wednesday, September 25, 2013

'දියණිය දෙවියන්ගේ ආශිර්වාදයක්' (ලු )








ඔබ කියන අයුරු මා
දෙවියන්ගේ ආශිර්වාදයක් නම්
ඇයිද මා ආත්මීයව විඳ වන්නේ?
අනුන්ගේ ද්වේෂයට හැම විටම
මුහුණ දෙමි
එසේවම දඬුවම් ලබන්නෙමි
මා කළ අපරාධය නොදැනම.
කිමද මා කළ වරද
උපත ලබනට මෙලොව?
බැගෑපත් ලෙස කියමි,
මගේ වරදක් නිසා නොවෙයි මා
ඉපැදුණේ දැරියක් ව
නොවී පුත්‍ර රත්නයක්.
දැරියක් ව ඉපදීම, මේ මා විලස
මගේ මහ පවක් යැයි, සිතයි ඔබ.
ඔවුහූ ම වද හිංසාවට පත් කරති
අවමනට, ගැරහුමට ලක් කරති
එහෙත් මට ඉන් මිදෙනු ඇවැසිමයි, ඉක්මණින්.
දෙතොල් මා අගුළු ලා . . .
පැතුම් මා වියලවා . . . .
අනෙක අවසරනැතිය මට
ලියන්නට, කියවන්න.
ආත්මයක් ඇත මෙහිද
හදවතක් ඇත මෙහිද
මේ වෙහෙසකාරී ප්‍රාණියාටද
අවශ්‍යය, ජීවත් වීමට
අවශ්‍යය, වැඩෙන්නට පරිපූර්ණව
එහෙත් (අ )වාසනාව!
ඔවුන් ඒ කිසිවක්ම සිදුවන්න ඉඩ නොදෙයි
අවස්ථාවක් ලද විගස
හළන්නට තැත් කරන බරකි, මා
පැතුම් මා සිත පතුල කැටි කෙරුණ
දැනගන්න
ලේ ගලන ම'හදවත
දැකගන්න
කිසිවෙකුට ඇවැසි නැත

ඔවුන් මා පවරාය යලිත් හිමිකරුවෙකුට
යලි යලිත් මේ එකම කතාවමකියවේවි
වෙනස් වනතුරුම උන් ආකල්ප
හැම ගැහැණු දරුවෙකුගේ සිතින් . . .

අෆ්සල් චෝහන් / පකිස්තානු කිවිඳියකි


( උර්දු බසින් ලියැවුණකි )
සයිකොප් -මුසාෆර්ගර් අනුග්‍රහයෙනි.


Saturday, April 7, 2012

සොහොන් කොත අසයි, මෙලෙසින් . . .

සොහොන් කොත අසයි, මෙලෙසින්
රෝස කුසුමකින්
"හිමිදිරියෙ පිනි බිංදු
වැටෙද්දී පෙති මතට
දැනෙන්නේ කෙළෙසින්ද
කෙබඳු අවසානයක්
ඔවුන්හට හිමි වෙයිද?
කියනු මැන
ප්‍රේමයේ කුසුම ඔබ"


"කොයි තරම් අවතාර
භූතයන්
වෙසෙන්නට ඇත්ද මෙහි?
එසේවම මෙයින් නික්මෙන්න ඇති . . .
දන්නේද එවන් වූ
ආත්මයන් කී දහක්
සොහොන් කොත් මුවින් නික්මුණි කියා?"
කීවාය රෝස මල


"සිහිලැල්වු සෙවනකදි
හිමිදිරිය හෙළුවා වු
සුවඳවත් කඳුළු වේ
වැටෙන්නේ තුෂර වී
ඒවාම මල්කෙමියෙ සිර වෙලා
හැදෙයි මල් පැණි මිහිරි,
ආශ්චර්යයකි එය"
රෝස මල කියන්නී . .


"භූත, අවතාර සිය දහක් වුව
නික්මුණත් අහස් ගැබ
වෙද සසල
අසිරිමත් නොවෙද එය
පිණි කඳුළු කතාවට වඩා එය?"
පිළිවදන් දුන්නේය
සොහොන් කොත සන්සුන්ව

Wednesday, August 18, 2010

ජීවිතය දෙකඩ කළෙමි

මම ජීවිතය දෙකඩ කළෙමි
එක කොටසක්
බීමත්ව
චණ්ඩ මාරුතය තුළ
ඔබ සමග පිළිසඳරෙක.
අනෙක
ඔබ මා දෙපයට
ඇණ ගසූ තැන.

මගේ ආශාව
එක අඩක් ඔබ සමග
තබන්නටය
එය ශත වර්ෂ ගණනාවක සිට
සිත කරන ආයාචනයෙකි …..
එම කොටස
මම නිදහස් කර ගත්තෙමි

සෝපානය දිගේ
උඩට ඇදෙන මා සිරුර
දෝලනය වෙයි දෙපසට
නිදි වර්ජිත රාත්රීමන්……
ඔබේ දෑස් තුළද
එම විඩාව තිබිය යුතුමය
සුවඳින් වටලනු ලදුව
මගේ ඇස්
පියාගන්නට අමතකව
මත් වූ අවදිය….
නිසල දියෙහි දෛවය
නිද්රෝිපගත වූ විට
වෙන්වීමේ තත්පර සමග
මට ඔබේ පහස අමතක වෙයි
සුසුම්
මිහිදන්ව
අසහනයේ හිරිහැරය යට
අප අතර පරතරයන්
දුරස්ව
පාරායණ ශත වර්ෂයන්ව
දෝලනය වෙයි
මගේ පණිවිඩ කරුවාගේ
දෑතෙහි

මා සිරුර පැටලී
කටු අකුලෙක,
මගේ අත් තුවාල කරගනිමින්
වර්ෂ ගණනාවක විඩාව ඉවසා
මා නිමැවූ ඔරුව
උගුලක හසු වී
අනුකම්පා විරහිත
රළ රැලි පහරට පෙරැලෙමින්
ඇදෙන්නේ කුමන උමගක් ඔස්සේද
පෘථිවියෙන් ඔබ්බට?

මගේ දෑතට
ශක්තිය ලැබුණාදෙන්
දිය පහර තවත් වරක්
ගමන් මග වෙනස් කළා දෙන්
එසඳ මට
මුහුණ දිය හැකිවනු ඇත
දවසේ ප්රභාශ්වර රැස් වළල්ලට
ඔබ මට
මුල්ම ප්රතිඥාව දුන්

අස්‍රා අබ්බාස්-පකිස්තානය

Tuesday, August 17, 2010

සිර දඬුවම

සිය පෙම්වතා සිප ගත් වරදට
චෝදනා එල්ල වූ ඇයට
තුන් මසක සිර දඬුවමක් නියම විණි
බරපතල වැඩ සහිත

දුරාචාරයේ යෙදෙමින්
උල්ලංඝණය කළාට
දණ්ඩ නීති සංග්‍රහය

එතුන් මස ගෙව්වා ඇය
බරපතල වැඩ සහිතවම ....
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්
ඇගේ ගර්භාෂයට
ශුක්‍රාණු හැලුවා
පාහරයන්
හැම ජාතියකම

ඉතින් ......

බරපතල වැඩ සහිත
සිර දඬුවමේ,
එතුන් මස ගෙවුණු පසු
ඇයව බලහත්කාරයෙන්
ගෞරවණීය ජීවිතයකට
යොමු කළාහුය,
ශුද්ධවන්තයෝ.
රඳවා ඇයව
පුරවරෙක නාඳුනන

ඇයත් සෙව්වා
රැකවරණය .....
එම පුරවරද
අඩුවක් නැතිවම
ප්‍රදානය කළා, ඇයට
ගෞරවනීය පුරවැසිභාවය!

අස්‍රා අබ්බාස් - පකිස්තානය
පරිවර්තනය - පුෂ්පා රම්ලනී



Tuesday, August 3, 2010

පීඩිතයාගේ සුසුම

 

උස්තාද් කලි උල්ලාහ් කලීලි - ඇෆ්ගනිස්තානය        

ඔවුහූ මනුෂ්‍යත්වය
ඝාතනය කර දමා
එය දේශපාලනය යයි නම් කළහ.
පල් වෙච්ච මුද්‍රික ඵල
'වයින්' ලෙස හැඳින් වූහ.
මිනිසුන් තුළ වූ යහපත් වේශය
විනාශ කළහ..
එයයි, නියම දක්ෂතාවය!

මගේ හදවත, හැම විටම
මගේ ශක්තිය හා සහයෝගයම විය.
මේ ලොවේ පැවැත්මට
එයම නිරිඳුන් විය, මට.
මගේ වික්ෂිප්ත භාවයට
හේතු සොයන කල්හී
සාක්ෂියට
කැඳවමි...දෙවියන්.
හදවතට මම කෘතඥ වෙමි.

උසස්ම සතුට
සහෘදයන්ගේ සමාහමයි
මරණයේ කලකණ්ණිකම
ඔවුන්ගෙන් අප වෙන් කරයි
අප, දුහුවිල්ලේ එක් වූ
කාලයේ සිට
ජීවිතයත්, මරණයත්
එකක්ම විය අපට, කිසිම වෙනසක් නැති

අහා! ජීවිතය යනු
හුස්ම සහ වේදනාව මිස
වෙන අන් කවරක්ද?
හදවතක්, වද හිංසනයක්,
කඳුලු පිරුණු ඇසක්....!

දවසින් දවස නොවරදවාම
විඳ දරා ගැනීම, මානසික ආතතිය හෝ
තවත් කෙනෙකුගෙ
යකඩ සපත්තුවකට
චප්ප වෙනවා මිසක

අපේක්ෂා බිඳුණු කෙනෙකුට
සතුට හෝ දුක
දැනෙන්නේ කෙලෙසද?
මරණයෙහි තිත්ත හෝ පැණි රසක් නැත
ස්වාධීනත්වය අරා සිටින ඔටුවා
මඩ ගොහොරුවක එරුණු විට
අපගේ ඉලක්කය
දුරද, ලඟද කියා සිතීම
වැඩකට නැති සිතුවිල්ලකි.

එක ලේ බිඳුවක්
පොළවට වැටුණු කල්හී
ස්වර්ගයේ මුදුවේ
වටිනා මැනිකක් ගිළිහෙයි.

ප්‍රවේශම් වන්න!
කෲර පාලකයිනි,
මානසික පීඩාවෙන් හෙම්බත් වුණු
අනාථයෙකුගේ සුසුමක්
විනාශ කරනු ඇත,
ඔබගේ සර්වබලධාරී ඔටුන්න!



පරිවර්තනය- පුෂ්පා රම්ලනී