Total Pageviews

Powered By Blogger

Saturday, January 18, 2014

මේ මෙතැනමයි





මේ මෙතැනමයි මාව ගොළු කළේ
මුවින් ගිළිහෙන්න දඟලන වදන්
එක්කාසු කර දෙතොල් පොපියන්න ඉඩ නොදී
තබා මුද්‍රා යළිත් විවට නොකරන විලස

මේ මෙතැනමයි, මාව සිර කළේ
නීති ව්‍යවස්ථා ද පනවමින් අසීමිත
දෙපා, දෑතට ලමින් යදමින්ම විලංගු ද
නොයන ලෙස නුඹේ දඟ ගෙය අතැර

මේ මෙතැනමයි මහට විණ කළේ
'හිත මිතුරු ආශ්‍රය තහනම්ය
නුඹට අද මෙතැන් සිට මා මිසක
කවරෙකුත් ආශ්‍රය තහංචිය'

මේ මෙතැනමයි මාව නැති කළේ
මා උදුරගෙන මගෙන් මුරණ්ඩුව
මගෙ හිතත් මනස හදවත සමග
චප්ප කර බිම දමා පාගමින්

මේ මෙතැන තවම මම කල් ගෙවමි
නුඹට පෙනෙනා විලස කුසීතව
එහෙත් නුඹ නොදකිනා දුරක මා පමිණ ඇත
ශක්තිමත්වී සිපිරි ගේ කම්බි විලසින්ම

මේ මෙතැන නුඹට නොදිසෙන විලස
තවත් ගැහැණුන් සියක් සුවහසක්
නුඹ එළුව දැල අරන් අහසටම ඉගිලෙන්න
මා සමග සිටිත්, නිදහස ලබා දෙනු පිණිස

නිදහස් කලාපයේ ඇලුත්ම කතන්දරය

 



යාල්පානමේ ඉඳලා
නිදහස් කලාපයට ආව ඉගිල්ලී
නළලේ පොට්ටු මකා මැසිමේ ලයමානෙට
ගයන කිරිල්ලී
යුද්දෙන් ඉරුණු දිවිය-දිරියෙන් එළලන්නට
හැකිද නොසෙල්ලී
අත්තටු සිඳිනු නොදී-සිහිනය දළු ලන්නට
දෙන්න කිරිල්ලී


අසු අරා ඇවිත්-කුමාරයෙක්
වීදි සරාවී
නුඹෙ සිනා කුසුම් නෙලා ගන්න
බැල්ම හෙළාවී
සින්ඩරෙල්ලාසෙ ගෙනයන්නට
සිහින පුරාවී
අන්තිමේ සපත්තුව විතරක්
නුඹ සතු වේවී

නුඹෙ සුසුම් වදන් දොරේලාට
නම් තෙරි ඉල්ලේ
ඔය මැෂින් එකත් කැරකෙන්නේ
නිති ලතැවිල්ලේ
කර වටේ රඟන රන් දම්වැල
අතේ වළල්ලේ
දහදියේ සුවඳ රන් විණිමය
රටටයි කෙල්ලේ

පුෂ්පා රම්ලනී

Wednesday, November 13, 2013

වියොවක් වුණත් ගැඹුරක් තියෙයි




සිහිනය නුඹෙද?  එය මගෙ නොවෙයි
විනිවිද දිවිය සිත හළු කරයි
කවි කම වුවත් දැන් බර වැඩියි
සමු ගනු කෙළෙස?  එද යා යුතුයි

සිවුරක් ඇවිත් ගත වට එතෙයි
රැළි කෙස් කැරැලි සිඳි, බිම වැටෙයි
අනියතය, අතිරය සැම සිතෙයි
වියොවක් වුණත් ගැඹුරක් තියෙයි

සක්මන් මළුවෙ සුදු වැලි මුදුයි
මිරිවැඩි නොමැති පතුලට සුවයි
වඩනා බවුන් සිත සැහැල්ලුයි
මග ඵල පසක් කර ගත යුතුයි

ඉසි, කෝ ද මන් නැති සිත අගෙයි
නොඇලෙයි යමක, දහමෙහි සරයි
භව කතර තරණය කළ යුතුයි

ගිහි ගෙයින් යන්නට කාලයයි

Thursday, October 31, 2013

අද දරු නැලැවිල්ලක්
















අත වෙරළු රැඳුණු
දර හිස මතෙහි බැඳුණූ
පලා ඉණ වට එතුණූ
නුඹටමයි, නුඹ කුමට හඬනූ

කන්දට ඇවිලෙනා ගිනි
නැන්දට නොපෙනෙනා වැනි
හැන්දට ගො'කිරි පිරැවිණි
නින්දට යන්න ම'දියෙණි

නොරට ගිය නුඹෙ අම්මා
කණට තෝඩුද දැම්මා
පිනට වෙද ඒ අම්මා
නුඹට ලැබුණේ දැන් සිතම්මා

අම්මා සුදුයි සියුමැලි
අප්පා නගන මැසිවිලි
නොඅසා දුවේ සුකුමලි
නිදියන් අසා නැළවිලි


Tuesday, October 8, 2013

අසෙකු පිට මා දමා . . . .



මගෙ දෑත ලිහා දැමුවොත් බිඳක්
කාල වර්ණෙන් පාට ගන්වමිය, බිත්ති හැම
මගෙ සිහින කුරුටු ගා

වසංගත රෝග වැස්සක් වැටී
ලෝකයම මගෙ දෑතෙ
මිරිකිලා ගියා දෙන් . . .

දිග හැරුණු උකුල මත ලිහා දැමු
කාල වාර්ණවු සිහින
කුරුසයේ ඇණ ගසා මරා ඇත
මගේ කිරි කැටි බිළිඳු
ගර්භාෂයේ දීම
අත් අඩංගුවට ගෙන.

මගෙ නිවස දොර අගුළු විවට කළ
අශ්ව ගාලක්ය දැන්

විනාශකාරීන් විසින්
මනාලියෙක් නොමැති අසෙකු පිට
මා දමා
පලවා හරිනු ලැබිණි
අඳුරු වූ වන පෙතට
මා වෙලූ විලංගුවෙ යදම් වැල
කවරෙකුට හසු වේද?

තීන්දුව දෙනු ලබන
කැලඹිලිකාර දිනයට පෙර
මා අවට විසිර ඇති
වැරහැලිද කඩමාලු
එකතු කරගන්න මට ඉඩ දෙන්න
දරුවන්ව කරන්නට නඩත්තු
ඉඩ ලදොත් මිය යන්න පෙරාතුව.
වස බඳුන ඒ සමග
මුව පුරා හළා ගනු පිණිස වෙද?

ඉඩ දෙන්න, විලංගුව ගැලවෙන්න
කවූරුන්ද ග්‍රහණයට ගනු ඇත්තෙ
එසඳ දම්වැල දැඩිව. . . . ?


අස්‍රා අබ්බාස් - පකිස්තානය
පරිවාර්තනය - පුෂ්පා රම්ලනී

Monday, October 7, 2013

සිරගත වීමට පෙර . . .




සම්ප්‍රාප්තියෙන් පසුව ප්‍රවෘත්තිය,
වසන්නෙමි මගේ ගෙයි
දොර කවුළු පියන් පත් සියල්ලම
නිවා දමනෙමි, විදුලි උපකරණ
අසල්වැසියන් අතර බෙදා දෙමි,
ශීතකරණයේ ඇති
අවුල්, මසවුල් සියල්
ගෙයින් ගෙට හොරා කන බළලාට
බොනු පිණිස හළමි, කිරි බෝතලය
වීදුරුව අයිස් වතුරෙන් පිරුණු
හළා ගමි මුවට
බොනු පිණිස එක හුස්මටම
දමා දොරගුළු සියල්
ප්‍රාදුර්භූත විය යුතුය
මහ මගට
මධ්‍යාහනයට කලින්
එසේ නැත්නම් රාත්‍රියෙ
කිනම් හෝ හෝරාවකදි
ආණ්ඩුවෙ වාහනයකින් පැමිණ
රැගෙන ගොස් මා වීසි කරනු ඇත
තවත් රැඳවියන් ඇති
ශරීරාගාරයකට

එවිට තව ප්‍රවෘත්තියක්
විකාශනය කෙරෙනු ඇත
සියලු සන්නිවේදන මධ්‍යය හරහා
'අත් අඩංගුවට ගත් අහවලාගේ නිවසෙ
අහවලාගේ දියණිය ගේ
පරණ ට්‍රන්ක පෙට්ටියේ
කඩමාළු ඇඳුම් අතරෙහි තිබී
සොයා ගන්නට ලැබිණි, බොහෝ කවි.
අත් අකුරු පැහැදිලිව කියව ගත හැක.'

අස්‍රා අබ්බාස් - පාකිස්තානය
පරිවර්තනය - පුෂ්පා රම්ලනී


හළා හළ විෂ . . . . .





රැක සිටින වග දනිමි
වියා දැල නුඹ පසෙක
ඔබ ද මොබ බැලිමි මම
දිසෙන්නට නැත නුඹව
ඇස ගැටෙන මානයක

නුඹෙ සුවඳ විසිරුවා
ඇති වගත් දැනෙයි, මට
වසඟයට සනු පිණිස
මෝහනය නොවෙමි ඉන්
හළා හළ විෂය එහි

මකුළු දෙන නුඹ සමග
මෛථූනයෙන් පසුව
නුඹ නසා දමන්නේ
දැන ගෙනද නුඹෙ පවිටු
ඇවතුම් ද පැවතුම් ද?