Total Pageviews

Powered By Blogger

Friday, June 20, 2014

සියලු සත්වයො නිදුක් වෙත්වාය!





දර්ශනය අනුව බොදු, මට මම ද නැති ලොවක
මගේ දෙස, මගේ බස, මගේ රැස කියා ගෙන
කුළල් කා ගනු කුමට නොවැටහෙයි, මේ බෙදුම
ද්වේෂ සහගතව ඔබ මෙත් වඩන්නේ කෙළෙස?

ලෙච්චිමී, සන්දනා, මුරුගේසු ලාගෙ සිත්
යන්තමින් සුව වෙද්දි ලප කැළල් මැකී ගොස්
කුමක් සන්තකේ කොට ගන්නදෝ කඩු, කිණිසි
අත දරා, ගහ මරා ගන්නෙ කුමකටද කියන්

ෆරීනා, ෆාතිමා, ඉක්බාල්, මොහිදීන්
ෆර්දාව පෙරෙව්වත්, හිස් වැසුම් පැළැන්දත්
ගැහැණුන්ය, මිනිසුන්ය අප වගෙම
සියලු සත්වයො නිදුක් වෙත්වාය!
කියතැකිද ඔවුන් බැහැරට දමා?

රම්ලාන් උපවාසෙ කෙළවරදි
අපි එකට පොඩි කාලෙ රස කැවිලි කාපු හැටි
දීපාවලී වලදි එකින් එක
පහන් දැල්වුවා අපි කිසි භේදයක් නැතුව
එකම පන්තියෙ අකුරු කෙරු අපිව
වෙන් කළා, දේශපාලන ලොක්කො
දැක්කුවා, වෙන වෙනම සිප් සතර උගන්නට

හොඳින් තේරුම් ගන්න දැනුත් නැහැ පමාවක්
අවිත් ආයුධ සියල් බිම දමා දයාවෙන්
සිලුත් බිඳ ගන්නැතුව එ'මානව ප්‍රෙමයෙන්
අතින් අත බැඳන් යමු පන්සලට
අතින් අත බැඳන් යමු පල්ලියට

අතින් අත බැඳන් යමු මස්ජිදය දකින්නට....

Friday, June 13, 2014

කමටහන් සොයන සිත





කමටහන් සොයන සිත විපිළිසර
ජවන් සිත් උප්පාද, ඨිති, භ
න්ග
මනස හිස් කරන්නට දැරු වෙහෙස
සම්මුතිය, පරමාර්ථ සටන් වැද

නිස්සරණ ජිවිතය කෙළවරෙක
අනිත්‍යය ගැහෙයි අවිනිශ්චිතව
ඉඟිමැරුව නෙත් අතීතයෙ ම'දෙස
කාච දැමුවද දෘෂ්ටියක් නැතිව

දෙතිස් රියනැති පිළිම පාමුලෙහි
පෙති හැළුණු පුෂ්ප සුවඳ ද වියැකි
අතර වැතිරෙන සිත ද මුදා ලමි
හැඟුම්, සිතිවිලි සියල් බැහැර කොට

සම්ප්‍රයෝගය සතුටු උළෙලක්ය
විප්‍රයෝගය බරැති සුසුමක්ය
සුළන් රැල් සුසුම් ගෙන පලා යයි
කඳුළු දිය කොපුල දිග ගලා යයි

Wednesday, May 7, 2014

යළිත් මේ ගැන සිතා බලනු මැන!

  
 
 
 
යළිත් මේ ගැන සිතා බලනු මැන
 
 
"ස්ත්‍රී දූෂකයාටම දූෂණයට ලක් වූ තැනැත්තිය විවාහ කර දිය යුතු වගට නීතියක් ගෙනෙන්නට සූදානම් ලු......."

එපා බල කරන්නට නීතියෙන්
සරණ යන ලෙසට මට
මාව කෙළෙසූ අධමයා සමග

මා පියාණන්ට වැඩියෙන් මහළු
එහෙත් කණ මදයෙකු සෙ සුරා ලොල්
තිරිසනෙකු සමග මා
මගේ මුළු ජීවිතය
ගත කරන්නේ කෙළෙස?

දයා කරුණා නොමැති
ලතෙත් නැති පිරිමියෙකි,
ඔහු දරුණු

ඔහු සමග කෙළෙසින්ද
බෙදා ගන්නේ යහන
යළි යළිත් මා පෙලූ
සැහැසි කම් මතකයට පිවිසෙද්දි

එවිට මා වින්දාවූ
මානසික කම්පනය
මනස මා පෙළනු ඇත
යළි යළිත් දූෂණය
වීමක්ම පමණක්ය
නීතියෙන් ලබා දෙන තීන්දුව

ජීවිතය ඇති තුරා
සිර දඬුවමක් වේය එය මහට
අපරාධයේ යෙදුණු විත්ති කරු
තවත් ගැහැණියක් යළි
දූෂණය කළ විටදි
ඇයත් ඔහුටම විවා කර දේද
ඊනියා ව්‍යවස්ථා?

තීන්දුවෙ වාසියත් අපරාධ කරුට මිස
වින්දිතයෙකැයි කියන මට නොවේ
රට කරවනා උගත් මහතුනේ
යළිත් මේ ගැන සිතා බලනු මැන!
 

Monday, May 5, 2014

ඔබ මම ද නොවෙයි



පි.
ඔබ මම ද නොවෙයි
මම ඔබ ද නොවෙයි
ඔබ හැම මොහොතෙම සිතෙහි මැවෙයි
සෙනෙහෙ දියවරින් සිත සපිරෙයි

ගැ.
ඔබ මම ද නොවෙයි
මම ඔබ ද නොවෙයි
ඔබ විත් මට මා අහිමි කරයි
මසිතෙන් මා ගෙන ඉවත දමයි

අන්තරා 1

පි. සෙනෙහස කොඳුරන
    ඉඳුවර දෙනයන
    අලන්කාරයක් ඔබට ගෙනෙයි
ගැ. පිනි බිඳු හිනැහෙන
    මල් පිරි පුදසුන
    චමත්කාරයක් හදට ගෙනෙයි

ස්ථායි . මම ඔබ ද  . . . .


අන්තරා 2

පි.  මුදු ගී සරයෙක
    සල රූ තිරයක
    පැටලුණු සිත සිහිනයක වෙළෙයි

ගැ. පරවුණු කුසුමෙක
    වියැකුණු සුවඳෙක
    රැඳවුණු සිත භාවනා කරයි

   මම ඔබ ද නොවෙයි . . . . .

Wednesday, March 26, 2014

මගෙම නම අමතකයි

දරුවන්ව ලොකු මහත් කර ගන්න
හරි හමන් රැකියාවකුත් උන්ට ලැබ දෙන්න
ලේ නහර කකියමින් දිවා රෑ නැහෙනවා
අරාබියෙ පුරවරක

බත් කටක් කන්න ආසා වුණත්
බඩ පුරා, ඉතිරි වෙන රොටී මිස පොලුත් නැති
තෙල් පිරුණු මස් හොද්ද
දිරවන්න බඩවැලුත් හුරු වෙලා

නිවාඩුව ලැබෙන්නේ සිකුරාදා
පන්සලට උදේ වෙන කොට ඇදෙමි
සිලුත් අරගෙන, බඩත් පුරව ගෙන
හවස ආපසු ඇදෙමි මෙහෙවරට

සිල් පවාරණ වෙන්නෙ පසු දාට
රෑ වේල අත් හරිමි සිල් සපුරනා පිණිස
එපින් වත් මාව සසරින් ගොඩට දමනු ඇති
පුදම් පින් පෙත් මෙතින් මෙ'පන්සල හැදු අයට

මේඩ් කියලයි මගේ නම නිතර ඇහෙන්නේ
මටත් දැන් මගෙම නම අමතකයි
පුතේ නුඹලා ඉතින් සිප් සතර හදාරා
දෙපයින්ම නැගිටින්න හිතාපන්

Saturday, January 18, 2014

මේ මෙතැනමයි





මේ මෙතැනමයි මාව ගොළු කළේ
මුවින් ගිළිහෙන්න දඟලන වදන්
එක්කාසු කර දෙතොල් පොපියන්න ඉඩ නොදී
තබා මුද්‍රා යළිත් විවට නොකරන විලස

මේ මෙතැනමයි, මාව සිර කළේ
නීති ව්‍යවස්ථා ද පනවමින් අසීමිත
දෙපා, දෑතට ලමින් යදමින්ම විලංගු ද
නොයන ලෙස නුඹේ දඟ ගෙය අතැර

මේ මෙතැනමයි මහට විණ කළේ
'හිත මිතුරු ආශ්‍රය තහනම්ය
නුඹට අද මෙතැන් සිට මා මිසක
කවරෙකුත් ආශ්‍රය තහංචිය'

මේ මෙතැනමයි මාව නැති කළේ
මා උදුරගෙන මගෙන් මුරණ්ඩුව
මගෙ හිතත් මනස හදවත සමග
චප්ප කර බිම දමා පාගමින්

මේ මෙතැන තවම මම කල් ගෙවමි
නුඹට පෙනෙනා විලස කුසීතව
එහෙත් නුඹ නොදකිනා දුරක මා පමිණ ඇත
ශක්තිමත්වී සිපිරි ගේ කම්බි විලසින්ම

මේ මෙතැන නුඹට නොදිසෙන විලස
තවත් ගැහැණුන් සියක් සුවහසක්
නුඹ එළුව දැල අරන් අහසටම ඉගිලෙන්න
මා සමග සිටිත්, නිදහස ලබා දෙනු පිණිස

නිදහස් කලාපයේ ඇලුත්ම කතන්දරය

 



යාල්පානමේ ඉඳලා
නිදහස් කලාපයට ආව ඉගිල්ලී
නළලේ පොට්ටු මකා මැසිමේ ලයමානෙට
ගයන කිරිල්ලී
යුද්දෙන් ඉරුණු දිවිය-දිරියෙන් එළලන්නට
හැකිද නොසෙල්ලී
අත්තටු සිඳිනු නොදී-සිහිනය දළු ලන්නට
දෙන්න කිරිල්ලී


අසු අරා ඇවිත්-කුමාරයෙක්
වීදි සරාවී
නුඹෙ සිනා කුසුම් නෙලා ගන්න
බැල්ම හෙළාවී
සින්ඩරෙල්ලාසෙ ගෙනයන්නට
සිහින පුරාවී
අන්තිමේ සපත්තුව විතරක්
නුඹ සතු වේවී

නුඹෙ සුසුම් වදන් දොරේලාට
නම් තෙරි ඉල්ලේ
ඔය මැෂින් එකත් කැරකෙන්නේ
නිති ලතැවිල්ලේ
කර වටේ රඟන රන් දම්වැල
අතේ වළල්ලේ
දහදියේ සුවඳ රන් විණිමය
රටටයි කෙල්ලේ

පුෂ්පා රම්ලනී