Total Pageviews

Powered By Blogger

Thursday, November 10, 2011

සිව්වැන්නී (ඇෆ්ගනිස්තානයේදී ලයූ කවියක්)

ආවෙමි කුල ගෙයකට
සිව්වැන්නිය වී
බිරින්දෑවරු අතරට
පුළුන් කෙහෙ, රැවුළින් යුතු
මුල්ලාවෙකු සමග වියපත්

පළමුවැන්නී ජරපත්ව
රැලි ගැසුණු කොපුළින්, නලලින්
එල්ලා වැතුණු දෙතනින්
දිවියේ සැන්දෑ සමය ගෙවන්නී

දෙවැන්නිය වහලිය සේ
බැල මෙහෙවර කම් කරන්නී
තමන්ගේ පමණක් නොව
අනුන්ගේ දරුවන්ද බලමින්, රකිමින්
සියල් උවටැන් ඉටුකරන්නී නො අඩුව

තෙවැන්නී ඉරිසියාවෙන්
බලන්නී මදෙස යටැසින්
තුනුසපුව යොවුන් මදයෙන්
දීලෙන්නී තව

පියාණන් හට මගෙ
ඩොලර් දහසින් බැඳි පියලි දී
දෑවැද්ද විලසින්
මිළට ගත්තා මොහු මා

මා විකුට ලද මුදලින්
ම'පියා ද සිය ගෙදරට
සිව්වැන්නියක් ගෙනැවිත්
වීඳිනු ඇත පෙම් රස
නැවුම් කැකුළක හිමේ විකසිත

පස්වැන්නියක් මෙ'ගෙයට
කැන්දන් නො එන හින්දා
මම් වෙමිය අග මෙහෙසිය
දුකින් වුව ම'සුසුම්
පෙරල ගෙන සොම්නසකට

Wednesday, October 26, 2011

වැස්සක පෙර නිමිති

සස්සඳ සසඳ මැද හිඳිනා සාවුන්නේ
සස්සඳ වකෙන් වක මෝරා හිනැහෙන්නේ
ඇස් දෙක පියෙන්නට කලියෙන් සිතපන්නේ
තිස්සෙම ගැහැණු සිත් නම් නැහැ ඉවසන්නේ

සත් සඳ ගලේ ගිරවුන් පෙම් කෙළිණු දුටිම්
මත් වූ කෙවිලියක් පෙම් ගී පුරනු දුටිම්
සිත් සන්තොසින් එහෙ මෙහෙ පිය හඹනු දුටිම්
අස්තංගත හිරේ රත් පැහැ සිඹිණු දුටිම්

සත්සඳ කිරණ පුපුරා සඳ මෝරන්නේ
සස් සඳ කිරණ යට වරළස පීරන්නේ
සස්සඳ සකිය, කිම ඇය සිත පාරන්නේ
වැස්සක පෙර නිමිති නුඹ තෝරාගන්නේ

දීපාවලී

.
දීපාවලී

පොට්ටු රතට රතු හිනැහෙයි නළල් තලේ
තට්ටු පාවඩය රඟ දෙයි නිතඹ වටේ
කිට්ටු වෙන්න මට කෝලද තංගච්චි
රට්ටු කියන පද නොඅසන් පොල්කිච්චී

ගෙල වට සයනයිඩ් තාලිය ඉවත දැමූ
නුඹ සුන්දරයි අපි ළඟදිම කූඩු වෙමූ
කලබල සිතත් සන්සුන් වෙයි විගහටම
පිල වට එළමු තල් පැදුරක් ඇලවෙන්න

වල් වැදී හිටිය කාලය ගිනි බිඳිමින්
කල්පනා නොකර යට ගිය දේ නැවත
තෙල් පුරා පහන් තබලා නෙක හැඩට
දල්වමු දුරින් දුරු වී යන්නට අඳුර

කෝලම් ඇඳුණු ගෙමිදුල, දොර ළඟ සොඳුරු
වාලම්පුරි නැතත් ගෙන එනවා ඉසුරු
කාටත් සතුට, සාමය සොම්නස මහරු
පානක් ගානෙ වැඩි වෙන්නට පතමු අපි

එහෙන් මෙහෙන් ගිනි බිඳිනා හඬ නොමැති
ත්‍රස්ත බියෙන් හදවත් ගිනි වැදෙන්නැති
යෙහෙන් ඉන්න දුන්නාට අනේ පින් ඇති
ජයෙන් ජය වෙන්න දීපාවලිය මතු ! ! !

Saturday, September 10, 2011

දැදුරු වූ මනස

කළුවරයි, පුර හඳත්
ඉකි බිඳින අහස ළඟ
සඳේ සාවියත් රට හැර ගිහින්

දහදියෙන් වැලිකතරෙ
පිපි ඩිරාම් විකසිතව
රුපියල්ව බැංකුවෙන් ආ කලට

සුරා පිරු විතය තොල රැඳෙන්නේ
නුරාවෙන් නෙත් රතට හැරෙන්නේ
සරාගික සිත සළෙල මතින්නේ
දුරාචාරයටමයි ඇදෙන්නේ

මවුන්ගේ ගවුම හැඳ වරෙන්නේ
දියණියට පියෙකු අණ කරන්නේ
මවු කෙරූ සියලු දෑ නොමින්නේ
කරන්නට ඇයට අණ ලැබෙන්නේ

කැකුළු මල තැලුණු, ගැබ් දරාගෙන
කෙළෙස මවගේ සෙනෙහෙ විඳින්නද
කෙළි කවට සිනහ වට බිම පරව
හති අරියි දැදුරු වූ මනසකින

නිද්‍රෝපගත ම'සිත

ලිවිය හැකි කෙනෙක් වෙද
එකම එක කවි පෙළක්
නිද්‍රෝපගත ම'සිත
අවදි කොට

උකටලී සිත් අහස
කවි තාරුකා නොපිපි
වස්සාන අඳුරු මේ කුළු ඉරුණ

ප්‍රභාෂ්වර කර යලිදු
හිරු සතක් නොවේ
එක ලා සඳක්
මෝදුවී ගුවන'රා
මන්දස්මිතයක් නගන තුරු
භද්‍ර කල්පයක් ඉවසිය යුතුද?

Thursday, July 21, 2011

ඉන්දු සයුරේ මුතු ඇටය

බත් පත අතට ගත් විට
'ආසනික් භීතිකාව'
පිරවුම හළක් ළඟදී
'බාල තෙල් භීතිකාව'

...සොයා නොගතහොත්
එන්නතක්
අනේ! මහ රජුනි . . . . ,
භීතිකා තුරන් කෙරුමට
ඉන්දු සයුරේ මුතු ඇටය
වැඩි කල් නොගොසින්ම
මකර කටට . . .

Friday, July 8, 2011

අකීකරු භාවනාව

නළලත තබා ගිය
වෙන්වීමේ සනිටුහන
තවමත් උණුසුම්ය . . .
දඟ කරයි
අත දරුවකු ලෙස

මැකී යන්නට පෙර
උණුහුම
එන්නේද යලි
කියා දෙන්නට ප්‍රේමය?

දෑස ඉඳිකඩ අද්දර
අකීකරු භාවනාවක...!