අවදි වූ ගැහැණිය වෙමිය, මම
පුළුස්සා දැමුණු නොදරුවන්නේ අළු මතින්
නැගුණු සැඩ කුණාටුව වෙමිය, මම
සොයුරන්ගෙ ගලා ගිය
රුධිර දහරා මතින් නැගුනෙමිය
මගේ රටවැසියන්නෙ සිතේ ඇවිලෙන කොවින්
ලදිමි ජවයද සවිය
අළු ධූලි වලට නටබුන් කෙරූ
ගම් දනව් නගර නෙත ගැටෙන සඳ
මෝදුවෙයි සතුරාට එරෙහි වෛරය සිතේ
දුබල යයි නොසිතන්න මා තවත්
දුබල යයි නොසිතන්න මා තවත්
සබඳ, මා අවදි වූ ගැහැණියයි
යා යුතුවු මග මහට හමුව ඇත
නොහැරෙමිය යලිදු ආපසු ඉදින්
දෙපා බැඳි යදම් බිඳ හෙළුවෙමිය
අවිද්‍යාවේ දොරටු විවර කොට
සමු ගතිමි රන් වළල්ලෙන් ද මම
වෙනස් වූ ගැහැණියක වෙමිය, මම
අවදි වූ ගැහැණියයි, සබඳ මම
යායුතුවු මග මහට හමුව ඇත
නොහැරෙමිය යලිදු ආපසු ඉදින්
මගේ මව් බිම වෙලූ තිත් අඳුරු පට ඉරා
සියුම් නුවණැසින් මම සත්‍යයම දැක ගතිමි
රෑ තෙ යම වළප්නා මව් වරුන් අඳෝනා
දෙසවනෙහි නින් නාද වී හැපෙයි
පාවහන් නොදුටු පා ගල් බොරළු මත කැපෙන
ඉන්න සෙවනක් නැතිව දුවනු දුටුවෙමි නෙතින්
මරතෝන්ඩි රටා ඇඳි අතුල් පතුලෙන් යුතුව
රුසිරු මනමාලියන් අවමඟුල් ඇඳුම් හැඳ
සුවිසාල බිත්ති සිර මැඳුරු වල
ගිල ගනියි ගිජුව නිදහස යුහුව
විරොධයෙ වියරුවෙන් ගෙතුණු මහ කව් තුළින්
පුනර්ජීවය ලදිමි
හන්ස ගීතය ගයා ගෙන ඇදෙන
රුධිර ගxගා තුළින්
උගත්තෙමි නිදහසේ ජය ගීය
සබඳ, මා සගය ඉදින් නොසිතන්න
මා තවත් දුබලවූ ගැහැණිය සෙ
සියල් වෙර රැගෙන ඔබ සමග එමි
මව් බිමේ නිදහසේ අදිටනින්
හුදෙකලා හඬක් නොව මගේ හඬ
සුවහසක් අවදි වූ ගැහැණුන්ගෙ
හඬ මගේ හඬට අත්වැල් ගයයි
සගයන්නෙ සුවහසක් විරු දෑත්
සමග මා දෑත් දැන් වෙලී ඇත
බිඳ දමන්නට රුදුරු වේදනා
සිඳ හරින්නට වහල් චේතනා
ඔබ සැවොම යන මගට පිවිසුනෙමි
සබඳ, මා සගය මේ වෙනස් වූ ගැහැණියයි
අවදි වූ ගැහැණියයි
යායුතුවු මග මහට හමුව ඇත
නොහැරෙමිය, යලිදු ආපසු ඉදින්
ඇෆ්ඝන් ගැහැණුන්ගේ අයිතිවාසිකම් උදෙසා තලේබාන් මූල ධර්ම
වාදයට හා අයුක්තියට එරෙහිව සටන් කොට දිවි පිදූ මීනා විසින් අත්සනක් නොමැතිව ෆාර්සි
බසින් ලියූ කවියකි.
No comments:
Post a Comment