Total Pageviews

Powered By Blogger

Friday, April 3, 2015

සිසිල් පැන් ඉසිනු මැන!





දැමුණු සිත් යහපත්ය
අකුසලෙහි නොම ඇලෙති
සන්සුන්ය තිදොරින්ම
ඉරියව්ද තැන්පත්ය

ලද දෙයින් තුටු වෙත්ය
අනුන් දෙය ලොල් නොවෙත්
කයින්, මනසින්, සිතින්
තුන්දොරම සංවරය

අනුන් දොස් නොදකිත්ය
අනුන් ගුණ පසසත්ය
බ්‍රහ්ම විහරණ සතර
නිතින් සිත සපිරෙත්ය

මුසා, කේලම්, පරුෂ,
හිස් වචන නොදොඩත්ය
වචනයෙන් වන පවින්
නිරතුරුව වැළකෙත්ය

කයින් වන් අකුසල්ද
කිසිවිටෙක නොකරත්ය
සිතින් වන පව් කිසිත්
සිහිනෙනුත් නොම වෙත්ය

එවන් වූ ජීවිතය
තමන්ටද අනුන්ටද
මහත් වූ සිසිලක්ය
කුසල් පිරි පැන් තොටකි

ඔබත් පැන් තොටක් වී
ගිනියම්ව ඇවිලෙනා
හාත්පස ලෝකයට
සිසිල් පැන් ඉසිනු මැන! 




Tuesday, March 17, 2015

රාග, තාලද බිඳී



















සුන්දරයි කියා සිතු වසන්තය ගිනියම්ව
මන්ද මාරුතය ලෙස එවන්නේ සැඩ සුළඟ
අන්ධ වී සෙනෙහසින් බැඳි සිහින මන්දිරය
කන්ද පාමුල වැටී බිඳී සුණු විසුණු වී

කොවුල් ගායනය අතු අග මියුරු සර නැගූ
අවුල් වී ස්වර සිඳී රාග, තාලද බිඳී 
හවුල් ගායනා නැතිව ගයන්නේ ඒකලව
තැවුල් ස්වරය පමණි නැගෙන්නේ සීතලව

පෙති හකුළුවා දුකින් මල් ගොමුද මුකුළිතව
ඉතිර යන කඳුළු ගෙන පිනි විලස තවරගෙන
සිතිජයේ මැකෙන හිරු හට අයැද සිටින්නේ
පැතිර යන අඳුර තව පමා කරවන්නටද?

පුෂ්පා රම්ලනි


Sunday, November 2, 2014

අනන්‍යතාවය . . . .















කවදා, කොතැන
කුමක් සඳහා
සඟවා තැබූයෙද
අනන්‍යතාවය මගේ?

මමද පූර්ණ මනුෂ්‍යයෙක්මි
ලබා දෙන්න මට එය නැවත
දෙවියනි!

Saturday, October 25, 2014

අළුත්වැඩියා කුමට?














බිඳී යන සෙනෙහසට
දුක් කඳුළු සලන්නට
මහලු වැඩිදෝ දෙනෙත්?

බලාගෙන අහස දෙස
සුසුම් රැල් හෙළන්නට
නොතරම්ය, කියයි සිත්

හැර යාම ගැන සිතා
පරිතාප නොවෙන හද
මෙත් භාවනාවකම

දුරස් වීමම යෙහෙකි
හුදෙකලා වනු පිණිස
බැමි බිඳිනු පහසු වෙයි

ඇවිත් යනු පිණිස වත්
නොආවොත් වැඩි හොඳයි
අළුත්වැඩියා කුමට?

Sunday, July 27, 2014

රාමසාන් සඳ

 













දුටුවාද රාමසාන් සඳ
නිමවන්නට උපවාස
මැද පෙරදිගින් කියන තුරු
සඳ දුටු බව
අපි බලා සිටිමු මෙහි

ඉමිතියාස් සමග ෆරීඩා
වටලප්පන් සමග කහ බත්
ගෙනෙන තුරු බලා හිටියා
අපි ළමා සන්දියේ


කවුරුත් කියන විදිහට
නෝම්බි ඉවර වූ පසු
රවුන්ඩේස් ගැහුවා අපි
චක් ගුඩුත් ඇද්දා
ජමාල් කාක්කා අපිට
ඩෙල්ටා ටොෆි අහුරු අහුරුත්
ගෙනැත් දුන්නා

අනේ දැන් අපි හුඟක් ඈතයි
ජමීලා ගේ සිනහව
තවමත් පෙනෙනවා මට
රාමසාන් සඳ අස්සෙන් .
. .

Friday, July 25, 2014

සන්සාර ගත කර්ම





ඇල්වෙච්චි කහට කෝප්පෙක එබුණු
නිල්වෙච්චි හිරි වැටුණු ඔබෙ කවිය
හිල්වච්චි හදවතෙහි රුවා ගෙන
සිල් ගත්තු හැටි තමයි මට පුදුම

තටු සිඳුණු සිහින විහඟුන් රෑණ
තුටු සිතින් ගගන සරනුයෙ කෝම
කටු ලැහැබ් ජීවිතේ පිරුණාම
පටු මගත් වන දුර්ග වන අරුම

උපාධිය සිව වසක් අකුරු

දපා නිදියන විටදි ෆයිල් තුළ
අපා දුක දෙවයි රැකියා සෙවුම
එපා වන නමුත් වෙන කරනු කිම

ඉර වැටෙයි බටහිරින් සමුදුරට
පර මලුත් හිනා වෙයි ඔච්චමට
කරකාර බඳින්නත් කල වයස
හරි නමුත් දිරි කොහෙද නිකමෙකුට

පගාවක් දෙන එකත් බැලයෙකුට
නිගාවක් වෙයිද දෙගිඩියාවක්
වගාවක් නැති හේන් යායකින්
කෙසේවත් අස්වැන්න නෙලුවැකිද?

පන්හිඳේ තෙතමනය තියෙන තුරු
සන්සුන්ව ලියන කවි නුඹටමයි
සන්සාර ගත කර්ම ඉඩ දේද
පින්සාර නුඹට මට ලන්වෙන්න

Sunday, July 20, 2014

ඔබට වැටහුණාද?

මේ ලියුම් කරදහිය
තේරුමක් ඇති දෙයක් නොවෙයි
කාට, කුමන ලිපිනයකට යැව්වත්
දනිමි මම එය.
එතෙකුදු වුවත්,
කොක්කෙන් හෝ කෙක්කෙන්
එය ඔබතට පත් විය යුතුමය
එය ඔබටම ලැබිය යුතු බව
මගේ ඒකායන විශ්වාසයයි.

මේ ඉදිරි ගෙඋයනෙහි
පිච්චමල් සුපුෂ්පිතය
පැණි කුරුල්ලන් දවස පුරාම . . . !
මල් සුවඳ ගැල්වුණු රාත්‍රී මදනල 
අපගේ කුටිය දක්වාම ළඟා වෙයි.
මා නොදන්නා
විවිධ මාදිලියේ මිනිස්සු
අපේ ගෙය පසු කොට ඇදෙති,
නිරතුරුවම
තවම, මේ වනතුරුත්, කිසිවෙකුත්
ආවේ නැහැ, මගෙන් ප්‍රශ්න කරන්නට.

සිඟිති බලු පැටිඅයා
ගේ වටා රවුමේ දුවයි
හේතුවක් නැතිවම
වලිගය ඉහළ එසැවී
කවුරු හරි අල්ලා ගන්නට වගේ

නිදි නො එන විට රෑ කල
ඔබේ පො
ත් වල
දුහුවිලි පිසිමි, මම
මේ වන විට ඒ පොත් බොහොමයක්ම
කියවා හමාරය, මා.
එහෙ
ත් කවදාවත්ම
ඔබේ මවගේ ලියුම් නම්
විවර නොකළෙමි, මම
ඇගේ පුතුන් ගැන
ඇගේ ශෝකයේ බර
වෑවිය නොහැක මට

ඉදින්, එසඳ මා පෙම්වත
අපේ එවුන් වෙනුවෙන්ම
ඔබ නික්ම ගිය සිතුවිල්ල
පමණකිය,
මා සිත අස්වසාලන
එකම දෙය
කෙසේ වෙතත් මේ සිරගත කෙරුම
මහා දුකක් වුව
අපගේ වෙන්වීම
සියල්ලක්ම දරා ගන්නට
මා හුරු කොට ඇත.

තවත් එක දෙයක්:
මට වඩාත්ම ඔබට
කිවයුතුව ඇත්තේ මෙයයි.
මම මුදු මොළොක්
ගැහැණියක් නොවන්නෙමි
එසේවම කලක් සිටි පරිද්දෙන්
අමන ගැහැණියක්ද නොවෙමි.
වත්මනේ අප රටේ තත්ත්වයන්
නොදෙයි, මට අපේක්ෂාවන් කිසිත්
ඉඳුරාම පැහැදිලිය, ඔබට මට
බොහෝ කල් වෙන් වී සිටිය යුතු බව
එසේනම්,
මා මේ නිවසේ තව දුරටත්
රැඳී සිටින්නේ කුමකටද
හරි!
ඔබට වැටහුණාද, මා ලියූ දේ?


 
 Mirrored Images පළ වූ උර්වෂි ගෙ කවියක්, ලක්ෂ්මි හොල්ම්ස්ට්‍රොම්ගෙ ඉන්ග්‍රිසි පරිවර්තනයෙන් සින්හලට පරිවර්තනය කළේ, 

පුෂ්පා රම්ලනී