ඇල්වෙච්චි කහට කෝප්පෙක එබුණු
නිල්වෙච්චි හිරි වැටුණු ඔබෙ කවිය
හිල්වච්චි හදවතෙහි රුවා ගෙන
සිල් ගත්තු හැටි තමයි මට පුදුම
තටු සිඳුණු සිහින විහඟුන් රෑණ
තුටු සිතින් ගගන සරනුයෙ කෝම
කටු ලැහැබ් ජීවිතේ පිරුණාම
පටු මගත් වන දුර්ග වන අරුම
උපාධිය සිව වසක් අකුරු කළ
දපා නිදියන විටදි ෆයිල් තුළ
අපා දුක දෙවයි රැකියා සෙවුම
එපා වන නමුත් වෙන කරනු කිම
ඉර වැටෙයි බටහිරින් සමුදුරට
පර මලුත් හිනා වෙයි ඔච්චමට
කරකාර බඳින්නත් කල වයස
හරි නමුත් දිරි කොහෙද නිකමෙකුට
පගාවක් දෙන එකත් බැලයෙකුට
නිගාවක් වෙයිද දෙගිඩියාවක්
වගාවක් නැති හේන් යායකින්
කෙසේවත් අස්වැන්න නෙලුවැකිද?
පන්හිඳේ තෙතමනය තියෙන තුරු
සන්සුන්ව ලියන කවි නුඹටමයි
සන්සාර ගත කර්ම ඉඩ දේද
පින්සාර නුඹට මට ලන්වෙන්න
No comments:
Post a Comment