Total Pageviews

Powered By Blogger

Wednesday, April 21, 2010

අපහසු සිහසුන

කුඩ කොඩි සේසත්
පතාක ධජ හැම
අකුලා දැමුවෙමි


අපහසු සිහසුන
ඔටුණු ද රන් මිණි
ඉවතට දැමුවෙමි


වට තිර පාවඩ
උඩට උඩු වියන්
අකුලා තැබුවෙමි


විදසුන් වඩනට
සසරින් මිදෙනට
අරණට නික්මෙමි 

නුඹට පිදුණු මා සිත් මල

රන් දුනුකේ මල් සුවඳට 
නුඹ ඇදුණත් පෑල දොරින්
නුඹට පිදුණු මා සිත් මල
තිර හැඟුමින් මෙතෙර රුවින්


පත් ඉරු වල ලියු සුවහස්
නිසඳැස් සහ සඳැස් පද්‍ය
ලොව කියවනු නොරිසි හෙයින්
එසියල් පැදි පෙට්ටගමක 
බහා ලුවෙමි හොර රහසේ 


නැකැත් පොරොන්දම් කුමකට
අපේ දෙසිත් සම වෙයි නම්
ඇවිත් ගමට කාර බඳිමු
කූඩු හදන්නට සුබ දින

Sunday, April 18, 2010

තරුමල්

සඳ වට්ටියට 
කඩා තරුමල් අහුරක්
ඇලෙව්වෙමි 
නීල වළා සළු මත
සැරසෙනු පිණිස
හැර ගිය පෙම්වතාගෙ 
මගුල් ගෙදර යන්නට

Thursday, April 15, 2010

'රන් කුමරයි, රන් කුමරියි'

'රන් කුමරයි, රන් කුමරියි
රටින් පලච්චී
ගෙදර හිටපු පොකුටු කෙල්ල
දීග පලච්චී
තක දොන් දීග පලච්චී'




රබන් පද ඇහෙනවා
සුරල් සුරු වැයනවා
පොකුටු නැති ඉරටු කෙස්
නැකැත් පොත් වහනවා


දරු මල්ලො වඩා ගෙන
එතිය අවුරුදු කන්න
තෑගි බෝගත් ඉහින්-
කණින් බෝ දරා ගෙන


පිළි කන්නෙ බංකුවට
නිතොර ඇන තියා ගෙන
අනේ මම ඉන්නවා
දුර ඈත බලාගෙන



කලු කුමර දිෂ්ටියත්
නැහැ ඇලෙහි, දොළෙහිවත්
ඉන්න තැනෙකට මාව

කුදලගෙන යන්නවත්


සඳත් අව පසටමැයි
නැකැත් නැහැ අපලමැයි
වෙතොත් කුමරෙක් එලොව -
වත්, ඇවිත් යනු හොඳයි






සෙනෙහස

ලතා මඬුල්ලෙක

වළා කැරැල්ලක

කවි කොට ඇති යයි
සෙනෙහස මහරු



පවන් රැළෙක නැග

විමසා බැලුවෙමි

වට වැස්සට

සායම් බොඳ වීලා


Saturday, February 13, 2010

සෙදෝනා

නිසොල්මනේම සිටියා සෙදෝනා


මල් පොකුරු, මල් වඩම්


වට කර ගෙන





කුරුවිට අයියා කළා ගුණ කතනයක්


සුනේත්‍රා කීවා කවියක්


අන්තිමට කවි පද හිර වී


ස්වරාල අතර ...


ඇස් වලයි පිරුණේ


වියෝ දුක


අපේ ඇස් අගටත්


හීන් තෙතමනයක් එකතු කර






මාලා හැඬුවා


ඉකි ගගහ


උහුලන්න අමාරුයි


ළඟින්ම හිටි කෙනෙක්


සමුගන්න හදනකොට සදහටම





අපි සේරෝම ගියා ඇය කැටුව


ඇගේ පසු පසින්
සෙදෝනා, ලැයිසා එහෙමත් .......

අපිත් එක්ක අත් අල්ලගෙනම ගියා





සුමිත්‍රා, කරුණක්කා


අනෝමා, තිලිනා, සුනේත්‍රා


හමුවුණා කාලෙකට පස්සෙ


ඊවටත් සතුටු ඇති


අපිව මුණ ගැස්සෙව්වවට





ඒත් එයා හිනා නොවීම


විදුලි ආදාහනාගාරයට


යද්දී . . .


බලන් ඉන්න බැරුව


අපි ආපසු හැරුණා






ඊවා හිටියා ආපහු එද්දිත්


සෙදෝනගෙ සිරුරෙ වෙලිලා


මට දැණුනා ඇගෙ සුසුම්


තවමත් උණුසුමට









Sunday, February 7, 2010

රන් පිහාටුව

රත්තරන් හංසයෙක්
පියාඹා ගෙන ඇවිත්
රන් පිහාටුව හළා යන තුරා
බලා සිටියෙමි මමත්


උපන් දිනේට බටර් කේක් ගෙඩියක්වත්
ගෙනැත් දෙන්න හංදියේ බේකරියෙන්
මගේ බඩපිස්සිට


හංසයෙක් තියා
කොරවක්කෙක්වත්
ගෙමිදුල උඩින් පියාඹා ගියේ නැහැ
වැව පාරේම ගේ තිබිලත්