Total Pageviews

Powered By Blogger

Tuesday, July 16, 2013

බුදුරදුන් පමණක්ම දැකගන්න!





අන්ධයෙකු සේ ඉන්න
නිරර්ථක වූ දෙයට
දුටු දෙයට ඇලෙයි සිත, බැඳෙයි සිත
අනුසෝත ගාමීව නොබලන්න
බුදුරදුන් පමණක්ම දැකගන්න

බිහිරෙකුව සවන් පත් අගුළු ලා
ඔබ ඉන්න
මියුරු හඬ රැහැන් පටකිය කෙළෙස්
ඔබව භවයට තබා බැඳ තබන . . .
පටිසෝත ගාමීව චෛතසික හසුරන්න

ඔය පුසුඹ සුසුවඳැයි
නොසිතන්න
සසර තව ඇලෙන්නට ගැලෙන්නට
ඔබව පොළඹවා ලන
මාරයා එවූ දූතයන්මැයි
ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙම හැසිරෙන්න!

Monday, July 15, 2013

මහද ඉඩ මදි විණි ද?

අහස ඉඩ මදි විණිද පියඹන්න
සයුර ඉඩ මදි විණිද පිහිනන්න
පොළව ඉඩ මදි විණිද පෙරලෙන්න
මහද ඉඩ මදි විණිද සැතපෙන්න

තරුවලින් ආදරේ ලියුවාට අහස මත
කියවගන්නට බැරුව මකා දැමුවා වත්ද
වෙරළතේ වැලි මතේ ලියූ දේ මකන්නට
රළ තරඟ එවා ඔබ සැනසිණීද?


හදේ ගැඹුරුම තැනත් ගැස්සුණා






















සිහින මට නිදන්නට නොදී 
සිත කිති කවයි දඟ කරයි
නුඹත් ඇවිදින් පසෙක 
ඇස් දෙකින් නළලතින් ඉඟි කරයි
ඇසි පියෙන් අඹ මලක් 
ඉඳු දුන්නකින් නවා මට විදියි
හදේ ගැඹුරුම තැනත් ගැස්සුණා
ඉස්සුණා බොරු නොවෙයි

වැව් ඉවුර දිගේ නොව
 සිත් ඉවුරු මතිනි පිය මැන ගියේ
වැව් දියේ රළ තරඟ 
කියඹු වැල් ලෙසිනි හුරතල් වුණේ
ඒ ඇඟිලි තුඩු ඇවිත් කන්
පෙත්ත මත කිමද නැවතුණේ
නෙතේ කඳුලක් මිදෙන්නත් කලින්
කෙළෙස නුඹ නික්මුණේ

Monday, July 8, 2013

දෙවියෝ රැක දෙන්න තේ දලු නෙලන අත

 













උදේ හවා තේ අපමණ විලස බොත
කහට, කිරි තේ ද කොළ පැහැ තේ ද වෙත
මසාලා තේද සුමිහිරි රසිනි ඇත
කවුරු සලකා ද තේ දලු නෙලන අත

පෙළින් පෙළට තේ ගස් මැද සරන්නී
තුඩින් ඇඟිලි දලු එකිනෙක නෙලන්නී
සයින් පෙළෙන දරු කුස ගිනි නිවන්නී
නිවන් දකින් පෙරුමන් ගැන නොදන්නී

දලු කිරලා බර සටහන් කරන අය
සළු උනලා සුව ඉල්ලති අඳුරු රැය
පලුවක් ගියත් එබසට නොනැමෙනා ඇය
කළු කුමාර රකුසන් හට නොමැත බය

පිනි, මල් තුහින සීතල ඉදිකටු වැස්සේ
මිනි මිනි පොදෙත් ලයිමෙන් එළියට බැස්සේ
ඉනිවැට පැන ගොසින් කූඩලු පොදි අස්සේ
දිනිදුන් නැතත් දලු කැඩුවා ඇගෙ රිස්සේ

තේ දළු පලා පැහ වෙයි ඇය නෙළද්දී
තේ පැන් රතු වෙතේ කෙමියෙන් ගලද්දී
ඇගෙ දහදිය
රුධිරය මුසු කෙරෙද්දී
සිහිපත් වුණිද ඇය තේ රස විඳිද්දී

උදුරා ගෙන වැටුප සැමියා තැබෑරුමේ
පොල් රා  වලින් සැනැහී යස වෙරි පදමේ
සපුරා ගනු පිණිස වදදෙයි මහ ජාමේ
පුපුරා ලය නොයා විද කාගෙද කරුමේ

Monday, June 17, 2013

මෝසමේ සුළං දෝ ?


 



නිරිත දිග මෝසමේ සුළං දෝ
මේ හමා යන්නේ
ඊසාන  මෝසමේ සුළඟ දෝ ?
වයිරස් ද විෂබීජ පතුරමින්
විශ්වයම සිසාරා

සැඟවෙන්න විගසකින්
හිමාලයෙ අතුපතර
එහෙ ඉන්නෙ සෘෂි වරුන් විතරමයි
ලෙඩ දුකට පත් නොවන...

Wednesday, March 20, 2013

අහඹුව දිස් වන මිරිඟුව

සිකිපිළ ගෙල වැසු පිට මැද සුවඳට
මදනල සිඹ සිඹ රඟ දෙන්නේ
එසුවඳ සුළඟේ ඇවිදින් හෙමිහිට
රහසින් මොනවද මුමුණන්නේ

රත'දර ඔමරිය යොමන්න අන් අත
සුත'නඹු නෙතු පිය පැටලෙන්නේ
අතපසු කර යමු අහඹුව දිස් වන
මිරිඟුව අප නෙතු රවටන්නේ

පිදූ මල් පිදුම

නෙලුම්, මානෙල් රතුද දම් පැහැ
මලසුනේ ගොඩ ගැහෙනවා
ගොඩ පිපුණු මල් එක්ක ළංවී
සුවඳ හිනැහී විඳිනවා

කෙනෙක් ඇවිදින් පෝර උරයක
දමා පිය ගැට බහිනවා
යලිත් මල් කඩයටම ගෙනිහින්
වෙන වෙනම ගොඩ ගසනවා

පිදූ මල් යලි පිදුම වැරදිද
"අනේ නැහැ " හිත කියනවා
මල් වෙළෙන්දගෙ ගෙදර එනිසා
දෙවේලෙම බත ඉදෙනවා